සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවයි

Spread the love

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දු මහතාට අයත් මාළඹේ පිහිටි සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙස විශ්වවිද්‍යාල පනතේ 70 වැනි වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා ඊයේ (15) සයිටම් ආයතනයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

දෙසැම්බර් 31 වැනිදා තෙක් හෝ වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු අවම ප්‍රමිතිය ගැසට් කරන තුරු සිසුන් ගැනීම තාවකාලිකව නැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

සයිටම් ගැටළුව ගැන සොයා බැලීමට නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුව අදාල පාර්ශ්ව සමඟ දීර්ඝ ලෙස කළ සාකච්ඡාවලින් පසු එළඹි ඇති තීරණයක් අනුව මෙම තීරණය ගෙන තිබේ. එම කමිටු වාර්තාව පසුගිය 11 වැනි දා ජනාධිපතිවරයාට බාර දී ඇත.

කෙසේ නමුත් එම නිරීක්ෂණයන්ට අනුව වෛද්‍ය සිසුන්ගේ ඇතැම් අත්‍යවශ්‍ය පුහුණු කාලසීමාවන් සහ ශික්ෂණ රෝහලකට අවශ්‍ය ඇදන් සංඛ්‍යාව, රෝගීන් සංඛ්‍යාව වැනි කරුණු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා වාසි සහගත වන පරිදි සංශෝධනය කර ඇති බව වාර්තා වේ.

අදාළ සංශෝධනයන්ට අනුව 700ක්ව පැවති ඇඳන් සංඛ්‍යාව 470 දක්වාත් රෝගීන් සඳහා ඇඳන් භාවිතය 80% සිට 70% දක්වාත් අඩු කර තිබේ.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ ඇතැම් සාමාජිකයන් මෙම කමිටුව වෙත දැඩි විරෝධයක් එල්ල කර ඇති බවද වාර්තාවේ. අදාළ කමිටුව පෞද්ගලික විශ්වවිද්‍යාල තත්ත්ව පාලන හා නියාමන කොමිසමක් ලෙස ක්‍රියාත්මක කිරීමට මේ වනවිටත් ආණ්ඩුව කෙටුම්පත් සකස් කර ඇති බව වාර්තා වේ.

සයිටම් ආයතනය බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ අනුමැතියට අයදුම්පතක් ඉදිරිපත් කර තිබුණද මේ වනවිට එම අයදුම්පතද ප්‍රතික්ෂේප වී තිබේ. ඒ අනුව සයිටම් ආතනය බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව විසින් අසාදු ලේඛන ගත කර ඇත.

ආශ්‍රිත පුවත්: ප්‍රමිතියෙන් තොර සයිටම් ආයතනය ජාත්‍යන්තර අසාදු ලේඛනයට

Loading...

RSL

Related Posts