ශ‍්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේ දී හෙළිවන මහින්දගේ මස්සිනාගේ වැඩ..

Spread the love

ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ මහජන විශ්වාසය බිඳී ඇත්තේ එම කොමිෂන් සභා වාර්තාවලින් සිදු කරන නිර්දේශ ක‍්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැති නිසාය. එම කොමිෂන් සභාවලට වැය කරන්නේ ද මහජන මුදල්ය. අවසානයේ සිදු වන්නේ මෙකී කොමිෂන් සභා පත් කළ අරමුණු ඉටු වීම කෙසේ වෙතත් මහජනයා මත තවත් වැය බරක් පැටවීමය. ඒ නිසා යම් වංචාවක් හෝ දූෂණයක් විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කර අවසානයේ එමගින් මහජනයාට සිදුව ඇති පාඩුව අය කරගෙන ඊට වගකිවයුත්තන්ට නිසි දඬුවම් දීම සිදු නොවන්නේ නම් වනුයේ එම වංචාව හෝ දූෂණය නිසා මහජනයාට සිදු වූ පාඩුවට එම කොමිසමේ වැය බරත් එකතු වී මහජනයා පිට පැටවෙන බර තවත් වැඩි වීමය. බැඳුම්කර කොමිසමෙන් සිදු වූ ලොකුම දෙය නම් ජනමාධ්‍ය හරහා ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවලට අදාළ බොහෝ තොරතුරු සමාජගත වීමයි. එහෙත් බැඳුම්කර මගඩියෙන් මහජනයාට සිදු වූ පාඩුව අය කරගෙන ඊට වගකිවයුත්තන්ට නීතියම පියවර ද ගත යුතුව තිබේ. ඒ සඳහා නීතිපතිවරයා ක‍්‍රියා කර තිබේද? මේ ප‍්‍රශ්නය බොහෝ දෙනෙක් මතු කරන්නකි. මේ ගැන ප‍්‍රශ්න කරමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා නීතිපතිට එන්තරවාසියක් යවා ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ සඳහා නීතිපතිවරයා යම් පිළිතුරක් ලබා දී තිබුණු බවද දැනගන්නට ඇත. ඒ අනුව අදාළ පාඩුව අය කර ගැනීමට සිවිල් නඩු කිහිපයක් ම පැවරීමට නියමිතව තිබේ. එසේ වන්නේ නම් එය ඉතා හොඳය. ජනතා අපේක්ෂාව වනු ඇත්තේ ද එයයි. ශ‍්‍රී ලංකන් මිහින් ලංකා ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය හමුවේ ද බොහෝ කරුණු අනාවරණය වෙමින් තිබේ. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම අපේ ජාතික ගුවන් සේවයයි. රටකට එවැනි ජාතික ගුවන් සේවයක් තිබීම ඒ රටට අභිමානයකි. ඒ නිසා ජාතික ගුවන් සේවයක් පවත්වාගෙන යායුතු බව අපගේ ද අදහසයි. අපේ රට සංචාරක ව්‍යාපාරය ගැන ද ඉමහත් බලාපොරොත්තු තබාගෙන සිටින රටකි . ඒ නිසා සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනයට ද අපේ ජාතික ගුවන් සේවය ඉවහල් කර ගත හැකිය. එහෙත් ජනාධිපති කොමිසම හමුවේ හෙළි වෙමින් තිබෙන තොරතුරු නම් එතරම් හොඳ ඒවා නොවේ. මේ ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලබා ඇති අතර එම පාඩුව වැඩි වීද තිබේ. එහෙත් එසේ පාඩු ලබන්නට බලපා ඇති සැබෑ හේතු මොනවාද යන්න ශ‍්‍රී ලංකන් මිහින් ලංකා ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය මගින් අනාවරණය වෙමින් තිබේ. එම නිසා සාක්ෂි විභාගයේදී හෙළි වූ වැදගත් කරුණු කිහිපයකට මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වේ.

ශ‍්‍රී ලංකන් ගුවන්, ශ‍්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා ජනාධිපති කොමිසම පත් කර ඇත්තේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය මෙන්ම වත්මන් යහපාලන රජයේ පාලන කාලය ද හසු වන පරිදිය. ඒ නිසා මේ රජයන් දෙක කාලයේම තොරතුරු කොමිසමේ සාක්ෂි විභාගය හරහා අනාවරණය වෙමින් තිබේ. එනම් හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ ගැන මෙන්ම සුරේන් රත්වත්ත ඇතුළු බොහෝ දෙනෙක්ගේ තොරතුරු දැනටමත් හෙළිදරව් වී ඇත. මේ අනුව විශේෂයෙන් නිශාන්ත වික‍්‍රමසිංහ හිටපු සභාපතිවරයා සමාගමෙන් ගෙන ඇති වැටුප්, දීමනා සහ වාහන පහසුකම් මෙන්ම ගුවන් සමාගමේ රියැදුරන් ඔහුට සේවය කරමින් සිටියදී ගෙන ඇති අති විශාල අතිකාල ගෙවීම් ගැනද කොමිසමට තොරතුරු හෙළිදරව් විය. මේ කියන නිශාන්ත වික‍්‍රමසිංහ යනු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මස්සිනාය.

මේ අනුව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතාගේ රියැදුරන්ට අති විශාල අතිකාල ගෙවීම් සිදුකර ඇති බවත් බොහෝ මාසවලදී මාසික අතිකාල ගෙවීම පමණක් රු. 50,000 ද ඉක්මවා ගොස් ඇති බවත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරින් තිරුකුමාර් මහත්මිය පසුගිය ජුලි 11 දා ශ‍්‍රී ලංකන් ගුවන් ශ‍්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීවාය. ඇය මේ බව කීවේ අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා විසින් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිණි.

2012 ජුනි මාසයේදී එක් රියදුරකුට ගෙවා ඇති අතිකාල මුදල පමණක් රු. 1,38,825 ක් වී ඇති බවත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ අතිකාල ගෙවීමේ ක‍්‍රමවේදය අනුව ගණනය කළ විට එම රියැදුරු එම මාසයේ සෑම දිනකම පැය 15.4 ක් පමණ බැගින් අතිකාල සේවය කර තිබූ බවත් කොමිසමේදී හෙළි විය. ඔහුගේ සාමාන්‍ය පැය අටේ රාජකාරි කාලයත් සමග ගණනය කළ විට එක් දිනකට එම රියැදුරු වැඩකර ඇති පැය ගණන පැය 23.4 ක් වන බවත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරින් තිරුකුමාර් මහත්මිය පිළිගත්තාය. අදාළ අතිකාල මුදල් ගෙවීම් අනුව වැඩකර ඇති අතිකාල පැය ගණන ගණනය කිරීම කිරීම සඳහා ඇයට කැල්කියුලේටරයක් ද ලබාදෙන ලදී. ඒ අනුව තිරුකුමාර් මහත්මිය විසින් සිදුකළ එම ගණනය කිරීම් අනුව 2012 ජුනි මාසයේ අදාළ රියැදුරා නිදාගන්නේවත් නැතිව සෑම දිනකම අඛණ්ඩව රියැදුරු රාජකාරියේ යෙදී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා කොමිසම හමුවේ ප‍්‍රකාශ කළ අතර කොමසාරිස්වරු ඒ සම්බන්ධයෙන් විශ්මය පළ කළහ. මේ සමගම මතුවන ප‍්‍රශ්නයක් වන්නේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතා ද නිදා ගන්නේවත් නැතිව දිනකට ඔය පැය ගණන වාහනයේ ගමන් කළාද යන්නයි. නැතහොත් වාහනයේ ගමන් කළේ වෙන අයද යන්නයි. ඒ බව දන්නේ එම රියැදුරු සහ නිශාන්ත වික‍්‍රමසිංහ මහතාමය. ඔවුන් කොමිසම හමුවේ සාක්ෂියට පැමිණි විට ඒ කරුණු නිරවුල් කර ගත හැකි වනු ඇතැයි සිතිය හැකිය. නිශාන්ත වික‍්‍රමසිංහ මහතාගේ සේවයට යොදවා සිටි රියැදුරන් තිදෙනකුගේ වැටුප් විස්තර සහ ඔවුන්ට සිදු කළ අතිකාල ගෙවීම් යනාදියද තිරුකුමාර් මහත්මිය කොමිසමට ඉදිරිපත් කළාය. එහෙත් එම රියැදුරන්ගේ වාහන ධාවන තොරතුරු තමා සතුව නොමැති බව ඇය කීවාය. එසේම හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතාගේ වියදම් විස්තර ඇතුළත් ලේඛන රැුසක් ද එදින කොමිසමට ඉදිරිපත් කර ඒවා කොමිසමේ ලේඛන වශයෙන් ලකුණු කරනු ලැබිණි.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන්මලූ පරීක්ෂා කිරීමේ එක්ස්රේ යන්ත‍්‍ර මිලදී ගැනීම සඳහා කැඳවා තිබූ මුල් ටෙන්ඩරය අවලංගු කිරීමෙන් මාස එකහමාරකට පමණ පසුව එම සමාගමේ මූල්‍ය අංශ ප‍්‍රධානියා විසින් එම ටෙන්ඩරයට අනුමැතිය දී ඇති බව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ වාණිජ ප‍්‍රසම්පාදන කළමනාකාරිණී (මූල්‍ය විශ්ලේෂණ සහ ව්‍යාපෘති) වගීෂා ප‍්‍රනාන්දු මහත්මිය ඉකුත් අගෝස්තු 13 දා ශ‍්‍රී ලංකන් මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප‍්‍රකාශ කළාය. රජයේ අධිනීතිඥ ශානක විජේසිංහ මහතා විසින් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් අවලංගු කළ ටෙන්ඩරයට පසුව මූල්‍ය අංශ ප‍්‍රධානියා විසින් අනුමැතිය දී ඇති බව සාක්ෂිකාරිය පිළිගත්තාය. අදාළ මුල් ටෙන්ඩරය ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ ටෙන්ඩර් කමිටුව මගින් 2014 ජුනි 10 දින අවලංගු කර තිබූ බව කී සාක්ෂිකාරිය එසේ අවලංගු කර තිබියදීත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය අංශ ප‍්‍රධානියා විසින් 2014 ජූලි 22 දින එම ටෙන්ඩරයට අනුමැතිය දී ඇති බව කීවාය. එසේ අනුමැතිය දුන් දිනය සහ අත්සන සහිත ලේඛනය ද එදින කොමිසමට ඉදිරිපත් කෙරිණි. මෙසේ සමාගම විසින් ටෙන්ඩරයක් අවලංගු කර මාස එකහමාරක් ගතවීමෙන් පසුවත් ඒ සඳහා සමාගමේ මූල්‍ය අංශයෙන් අනුමැතිය ලැබීම පිළිබඳව විභාග වූ සාක්ෂිවලට සවන් දීමෙන් පසු කොමසාරිස්වරුන් ප‍්‍රකාශ කළේ සමාගමේ අංශ අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති තත්ත්වයක් මින් පෙන්නුම් කෙරෙන බවයි.

මහින්ද රාජපක්ෂ කොටි ත‍්‍රස්තවාදයෙන් රට බේරා ගත් නායකයාය. ඒ සම්බන්ධයෙන් ඔහු කෙරෙහි මහජනයා තුළ අසීමිත ගෞරවයක් තිබේ. ඉකුත් ජනාධිපතිවරණයෙන් පරදින තෙක්ම සෑම මැතිවරණයකදීම පාහේ විශිෂ්ට ජයග‍්‍රහණ අත් කර දීමට අති මහත් බහුතර කෘතවේදී මහජනයා ක‍්‍රියා කළේය. එහෙත් ආණ්ඩුවේ වැරදි නිවැරදි කර ගැනීමට ඔහුට එතරම් ඕනෑ කමක් නොතිබුණි. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් තත්වය ද එසේම විය. ඊට පත් කර සිටි මහින්ද රාජපක්ෂගේ මස්සිනාගේ වික‍්‍රමාන්විත වැඩ දැන් හෙළි වෙමින් තිබෙන අතර ක්වලාලම්පුර් නගරයේ සිට කොළඹ බලා එමින් තිබු ශ‍්‍රී ලන්කන් ගුවන් යානයක් හරවා සිංගප්පුරුවට ගෙන්වා ගැනීමේ සිද්ධිය ගිය සතියේ කොමිසමේදී හෙළි විය. මේ සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු 12 වැනිදා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයේ’ කතු වැකියද ලියවී තිබුණි. ‘ගොඩ යෑමක් නෑ අපට අපෙ මස්සිනා ඉන්න කල්…’ යන්න ඊට යොදා තිබු සිරස්තලයයි. එම කතු වැකියේ එය විස්තර කර තිබුණේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ ගිය ආණ්ඩුව කාලයේදී කළ හරක් වැඩක් ලෙසය. රජයේ වැදගත් නියෝජිත කණ්ඩායමක් සිටිනවා යයි කියමින් නිශාන්ත වික‍්‍රමසිංහ එම ගුවන් යානය හරවා සිංගප්පුරුවට ගෙන්වාගෙන තිබුණත් අවසානයේ එයට සිංගප්පුරුවෙන් ගොඩ වී තිබුණේ ඔහුත් ඔහුගේ බිරිඳත් එවකට මහින්ද රාජපක්ෂගේ පැත්තේ සිටි සරත් අමුණුගමත් පමණි. සරත් අමුණුගම ඉක්මනින් ගුවන් යානයක් සිංගප්පුරුවට එවන්නැයි ඉල්ලීමක් කර තිබුණු බවක්ද තමාට දැනගන්නට නොතිබුණු බව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් පාලන කළමනාකරු ගෝපිත ඉන්ද්‍රජිත් රණසිංහ මහතා ඉකුත් අගෝස්තු 08 වැනිදා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසා තිබුණි. ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වුයේ විනාඩි 90 ක් ඉවසන්න බැරිව නිශාන්ත වික‍්‍රමසිංහ එම ශ‍්‍රී ලංකන් ගුවන් යානය හරවා සිංගප්පුරුවට ගෙන්වා ගත් බවයි. ඒ සිද්ධිය වූයේ 2014 ජනවාරි 22 වැනිදාය. තමාගේ රාජකාරී කාලසීමාවේ එවැනි සිදුවීමක් කිසිවිටෙකත් සිදුව නැති බව ද, ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලට සභාපතිවරයෙක් මැදිහත් වීම සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක් බව ද ගෝපිත ඉන්ද්‍රජිත් රණසිංහ මහතා කොමිසමේ ප‍්‍රශ්න කිරීම් හමුවේ කියා තිබුණි.

මුලින් කී ඉරිදා දිවයින කතුවැකියේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ කළ තවත් වැඩක්ද සඳහන් කර තිබුණි. ඒ මාලදිවයිනේ සිට පැරිස් නුවර බලා යාමට කොළඹට පැමිණීමට සිටි ගුවන් මගීන් පිරිසක් පැමිණීමට පෙර ශ‍්‍රී ලංකන් ගුවන් යානය ගුවන් ගත කිරීමේ සිද්ධියයි. නිශාන්ත වික‍්‍රමසිංහ මස්සිනාගේ මේ වික‍්‍රමය ශ‍්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විභාගයේදී හෙළිදරව් වුයේ ඊයේ (15) දිනයේය. ඒ අනුව ඊයේ ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරුවන් වන ධම්මික සේනානායක සහ නිශාන්ත හඳපාන්ගොඩ යන මහත්වරු දෙදෙනා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මේ සිද්ධිය අනාවරණය කළහ. ගුවන් මෙහෙයුම් කළමනාකරුගේ තීරණය වෙනස් කර ප‍්‍රංශ ගුවන් යානය ගුවන් ගත කරන ලෙස මෙහිදී ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍‍්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව ධම්මික සේනානායක මහතා කොමිසමට කීවේය. නිශාන්ත වික‍්‍රමසිංහගේ මේ වික‍්‍රමය නිසා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමරිකානු ඩොලර් 90260 ක (ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 1,17,33000 කට අධික මුදලක) අති විශාල පාඩුවක් සිදු වූ බව නිශාන්ත හඳපාන්ගොඩ මහතා කොමිසමට කීවේය. මේ සිදු කළ හානියට වග කියන්නේ කව්ද? මේ කොමිසම මගින් දඬුවම් ලබා දෙන්නේ නැති වුවත් මේ සාක්‍ෂි උසාවියට වාර්තා කර මේ පුද්ගලයා අත්අඩංගුවට ගත යුතු නොවේද? අපි එදා අර්ජුන මහේන්ද්‍රන් ගැන කීවේද මේ ටිකමය. ඔහු රටින් පිට වීමට පෙර ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට නීති අංශ නිසි ලෙස ක‍්‍රියා කළා නම් අර්ජුන මහේන්ද්‍රන් අල්ලා ගැනීමට මේ තරම් දැ`ගලීමට අවශ්‍යතාවක් මතු වන්නේ නැත. මේ ආකාරයටම නිශාන්ත වික‍්‍රමසිංහගේ හිතුවක්කාර තීරණ නිසා මෙරට මහජන මුදල් වලට පාඩුවක් වුවා නම් එය පොදු දේපොළ පිළිබද ප‍්‍රශ්නයක් නොවේද? එසේ නම් ඔහු වහාම අත්අඩංගුවට පත් විය යුතු නොවේද? මේ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වන ආකාරය දෙසද රට වැසියා බලා සිටිනු ඇත. මේ ආණ්ඩුව සමයේ අර්ජුන මහේන්ද්‍රන්ලා මෙන්ම ගිය ආණ්ඩුව සමයේ නිශාන්ත වික‍්‍රමසිංහලාද මහජන මුදල්වලට හානි කර ඇත්නම් මේ දෙදෙනාටම නීතිය ක‍්‍රියාත්මක විය යුතුය. එසේම ඒ හානි වූ මහජන මුදල් මේ රටේ මහජනයාට අත්පත් කරදීමද අත්‍යවශ්‍ය වෙයි. ගජ මිතුරු අර්ජුන මහේන්ද්‍රන් මෙන්ම නිශාන්ත වික‍්‍රමසිංහ මස්සිනාද මහජන මුදල්වලට හානි කර ඇත්නම් ඔවුන් කවුරුන් වුවත් එක ලෙසම නීතිය ක‍්‍රියාත්මක විය යුතු බව අපේ හැඟීමය.

-ශ්‍යාම් නුවන් ගනේවත්ත-
-දිවයින-

RSL

Related Posts