සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් අපේ රට මුඩු බිමක් සහ කුණු ගොඩක් වෙනවා

Spread the love

සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම යටතේ දෙරට අතර ගහ කොළ, වැලි, පස්, සතුන් ඇතුළු සියලු භාණ්ඩ හුවමාරු වීමට පටන්ගත් විට ලංකාව මුඩුබිමක් බවට පත්වන බවත් අවසානයේ එම මුඩුබිම වෙනත් රටවල්වල කුණුකසළ ගෙනැවිත් දමන කුණු ගොඩක් බවට පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ජේ.ආර්. සහ ප්‍රේමදාස කාලයේදීවත් විවෘත ආර්ථිකය යටතේ මෙවැනි රට පවා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

පෙරේදා (14) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

පාර්ලිමේන්තුවේ විපක්ෂය හෝ මේ රටේ වෘත්තිකයන් විද්වතුන් නොදැන සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ වන පරිද්දෙන් භාණ්ඩ වර්ග 4000කට කිට්ටු ප්‍රමාණයක් තීරු බද්දෙන් නිදහස් කරලා හොර රහසේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ සංයෝජිත වර්ගීකරණ 3539ක ආනයන තීරු බදු ඉවත් කරලා තිබෙන්නේ. මේක තමයි අපි හොයාගත්ත මූලය. මේ ගැසට් නිවේදනය හොයාගන්න සියලු දේ අවසානයේ එවන පුස්තකාලයෙන් මම විමසා සිටියා. සාමාන්‍යයෙන් ගැසට් පත්‍රයක් ගෙන ආ විට එය පළ කරනවා වෙබ් සයිට් එකේ. එහි ගැසට් අංකය තිබුණත් ගැසට් පත්‍රයේ සඳහන් වන විධිවිධාන කිසිවක් නැහැ.නැවත පාර්ලිමේන්තුව ලවා රජයේ මුද්‍රණාලයෙන් මේ පිළිබඳ විමසා සිටියදී ඔවුන් එය මඟහැරියා. ගැසට් පත්‍රය මුද්‍රණය කළාට කොහෙද දන්නේ නැහැ කියමින් මේ ගැසට් පත්‍රය ලේඛන සභාගත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ තබන ලිපිගොනුව පරීක්ෂා කිරීමේදී ඒ ලිපිගොනුව ඇතුළේ ජූලි මාසයේ 21 වැනිදා මෙම ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තිබෙන බවට.

අදාළ අංශයෙන් විමසූ විට ඔවුන් කියනවා ගැසට් පත්‍ර 350ක් පාර්ලිමේන්තුවට ලැබුණු බව. නමුත් එක ගැසට් පත්‍රයක්වත් ඒකාබද්ධ විපක්ෂයේ කිසිම මන්ත්‍රිවරයකුට ලැබිලා නැහැ. අපට ලැබුණේ නැතත් විපක්ෂ නායකතුමාට සහ විපක්ෂයේ සංවිධායකවරයාට එය ලැබෙන්න ඕන. මේ ගැසට් නිවේදනය ඔවුන්ට ලැබී තිබුණා නම් මේ තිබෙන තත්ත්වයත් සමඟ ඔහු ආණ්ඩුව සමඟ එකට හිටගෙන තිබෙනවා. ගැසට් පත්‍රය නොලැබුණා නම් ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශයක් කළ යුතුයි.

ආදායම් සංරක්ෂණ ආඥා පනතේ දෙවැනි වගන්තියට අනුව ගැසට් නිවේදනය නිකුත් කළ දිනයේ සිට එමඟින් නිදහස් කළ භාණ්ඩ බදු නිදහස යටතේ රට තුළට ගලාගෙන එන්න ඉඩදෙන්න ඕන රේගු අධ්‍යක්ෂවරයා. ඒ සම්බන්ධයෙන් අපට තොරතුරු ලබාදෙන රේගුවේ අංශවලින් විමසා සිටියදී ඔවුන් කියා සිටියේ මෙම ගැසට් නිවේදනය තවමත් රේගුවට ලැබිලා නැහැ සම්පූර්ණයෙන්ම. දැනට සමහර කොටසක් බදු නිදහස් කරලා ලැබිලා තිබෙනවා කියලා.

මට දැනගන්නට තිබෙන ආකාරයට බදු නිදහස්ව රත්රන් සිංගප්පූරුවෙන් ආනයනය කරන්න ඉඩදීලා තිබෙනවා. ලංකාවේ තිබෙන විශාලතම ජාවාරමක් තමයි රත්රන්. 2017 වසරේදී ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකමකින් යුත් රත්රන් ප්‍රමාණය ඇ.ඩො.මි. 650ක මුදලකට ආනයනය කරනවා. 2018 පළමු කාර්තුව තුළ ආනයනය කළා රත්රන් ඇ.ඩො.මි. 437ක වටිනාකමට. මේ සල්ලි ටික ඉතුරු කරගත්තා නම් හම්බන්තොට වරාය විකුණන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

මේ වනවිට රත්රන් සහිත පස් සහිත කන්ටේනර් ආනයනය කරලා තිබෙනවා. පතල් හා භූවිද්‍යා අධිකාරිය කියලා තිබෙනවා පස් සහ රන් එකට කලවම් කරලා පිටරට යැවීමේ ජාවාරම ගැන. මේ වනවිට මහා බලධාරීන්ගේ මැදිහත්වීමෙන් යටගහලා තිබෙනවා.

ආශ්‍රිත පුවත්: එදා කැබිනට්ටුව වත් නොදැන රාජපක්ෂවරු පමණක් දැනගෙන ගැසූ ගිවිසුම් (වීඩියෝ)

RSL

Related Posts