ඒඞ්ස්වලට සමාන හෙපටයිටිස් – බී ලංකාවේ පැතිර යෑමේ අවදානමක්

Spread the love

එච්.අයි.වී – ඒඞ්ස් රෝගය හා සමාන හෙපටයිටිස් – බී රෝගය ශ‍්‍රී ලංකාවේ ශීඝ‍්‍රයෙන් පැතිර යෑමේ අවදානමක් ඇතැයි ජීර්ණ පද්ධතිය හා අක්මා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිලේෂ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා පැවසීය. 

වයස අවුරුදු 20ත් 40ත් අතර පිරිමින් හා කාන්තාවන් මෙම රෝගයට වැඩි වශයෙන් ගොදුරු වීමේ අවදානම පවතින බවත්, ලිංගික ශ‍්‍රමිකයින් මෙන්ම පිරිමි සමරිසි කණ්ඩායම් මෙම රෝගය සමාජය තුළ පතුරු වන කොටස් ලෙස හඳුනාගෙන ඇති බවත් ඔහු කීවේය.

‘හෙපටයිටිස් – බී ’ රෝගය බහුල ලෙස සම්පේ‍්‍රෂණය වනුයේ මවගෙන් ළදරුවාට වන අතර, මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමෙන්, ආසාදිත රුධිරය හා ශරීර තරල මගින්, පච්චා කෙටීමේදී භාවිත කරන ඉඳිකටු හවුලේ භාවිතය හරහාද මෙම රෝගය පැතිරීම සිදු වන බව හෙළි වී ඇතැයි වෛද්‍ය ප‍්‍රනාන්දුපුල්ලේ මහතා කීවේය. 

මෙම රෝගයට ගොදුරු වීම වැළැක්වීම සඳහා හෙපටයිටිස් -බී එන්නත ලබා ගැනීම යෝග්‍ය බවත්, මෙය ජාතික ලිංගාශ‍්‍රිත රෝග – ඒඞ්ස් මර්දන ව්‍යාපාරය හරහා මෙන්ම රජයේ රෝහල්වලින් පහසුවෙන් ලබා ගත හැකි බවත් පෙන්වා දෙන වෛද්‍ය ප‍්‍රනාන්දුපුල්ලේ මහතා රෝගයට ගොදුරු වීමේ අවදානමක් පවතින කණ්ඩායම් මෙම එන්නත අනිවාර්යයෙන් ලබා ගත යුතු බවද අවධාරණය කළේය.

පසුගියදා කොළඹ, ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගම් ශාලාවේ පැවති ‘මෙරට හෙපටයිටිස් – බී පැතිරීම’ පිළිබඳ මාධ්‍ය හමුව අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජීර්ණ පද්ධතිය හා අක්මා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ආරියසිංහ මහතා හෙපටයිටිස් – බී වෛරසය නිසා හට ගන්නා හෙපටයිටිස් -බී රෝගය අක්මාවට හානි කරන ජීවිතයට තර්ජනයක් වන රෝගයක් බව සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2015 වසර වන විට ලොව පුරා මිලියන 257 ක් දෙනා හෙපටයිටිස් – බී වෛරසය සමග ජීවත් වන බව හෙළි වී තිබූ අතර එම වසරේදී 887,000 ක් දෙනා රෝගය නිසා මිය ගිය බව ඔහු කීවේය. හෙපටයිටිස් – බී රෝගය වැළඳීම වැළක්වීම සඳහා ඇති ප‍්‍රධාන මාර්ගය වන හෙපටයිටිස් එන්නත ආරක්ෂිත මෙන්ම ඵලදායි එන්නතක් බව ද හෙතෙම පැවසීය.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර හා සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න යන අය ද මෙහිදී අදහස් දැක්වූහ.

RSL

Related Posts