ලංකාවේ ක්‍රිකට් දූෂණ හොයන්න ඉන්දියාවට භාරදීම නරියට කුකුල්ලු භාරදුන්නා වගෙයි

Spread the love

ලෝකයටම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ඔට්ටු ඇල්ලීමට පුරුදු කළ ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ වංචා සෙවීමට භාරදීම නරියට කුකුල්ලු භාරදුන්නා වැනි ක්‍රියාවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පැවැසීය.

නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේදී එසේ අදහස් දැක්වූ මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ, වංචාවල මූලස්ථානය ඉන්දියාව බවයි.

එහිදී ඩිලාන් පෙරේරා මෙසේද පැවැසීය.

“අපේ ක්‍රිකට් ටීම් එක අවසානයේ තරගයක් ජයග්‍රහණය කළා. මම හිතනවා පරාජයේදී ක්‍රිකට් කණ්ඩායම විවේචනය කරනවා වගේම ජයග්‍රහණයේදී අපි ඒ අයව අගය කළ යුතුයි. අපි හිතනවා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අපි හොඳින් ක්‍රීඩා කළා පසුගිය කාලයේ. එම නිසා ඉදිරියේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කරන්න හැකිවෙයි කියලා අපි හිතනවා. හැබැයි ඒ සඳහා ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු සියලු දෙනා ඔවුන්ව ධෛර්යවත් කළ යුතුයි. නමුත් දැන් වෙලා තිබෙන්නේ නරියට කුකුල්ලු භාරදුන්නා වගේ වැඩක්.

අගමැති සමඟ වලිගයේ එල්ලිලා ඉන්දියාවට ගියා අර්ජුන රණතුංග මගේ මිත්‍රයා. ඔහු ඉන්දියාවේදී ලෝකයටම ක්‍රිකට් ක්‍රීඩාව ගැන ඔට්ටු අල්ලන්න පුරුදු කරපු ඉන්දියානුවන්ට භාරදෙනවා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ වංචා හොයන්න. ඉන්දියාව තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ වංචාවල මූලස්ථානය. එතැනින් තමයි දූෂණ වංචා පටන් ගත්තේ.

තෙල් ටැංකි ටික දුන්නා වගේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ වංචා දූෂණ හොයන්න කියලා කැප්ටන් කූල් මෝදිගෙන් ඉල්ලා සිටිනවා ඉන්දියාවේදී. අර්ජුන රණතුංග කියන්නේ අපි ආදරය කරන චරිතයක්. අවසානයට තිබූ ක්‍රිකට් නිලවරණයේදී මම ඔහුට ඡන්දයත් ලබාදුන්නා. ඔබ ක්‍රිකට් සමඟ, ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින ඇතැම් චරිත සමඟ තරහ ඇති.නමුත් එය ක්‍රීඩකයන් පිටින් යවලා ජාත්‍යන්තර වශයෙන් අපේ රට අපකීර්තියට පත් කරන්න එපා. එහෙම කරලා ජනතාව අතර ඔබට තිබෙන ප්‍රසාදය නැති කරගන්න එපා”

පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාලද එහිදී අදහස් දක්වමින්,

“අපි බොහොම මහන්සි වෙලා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ආසියාවේ රටවල් 25ක් නියෝජනය කරන ආසියානු ක්‍රිකට් සම්මේලන කාර්යාලය ලංකාව ගෙන ආවා. එහි හිටපු සභාපති මම.

ආසියාවේ කේන්ද්‍රය හැටියට ලංකාව තමයි අපි සැලසුම් කළේ. නමුත් පසුගිය වසර 04ටම කිසිම ව්‍යාපෘතියක්, සංවර්ධනයක් කරගන්න බැරි වුණ ආණ්ඩුවක් මේක. මේ අවුරුදු 04 තුළ වුණා නම් වුණේ ආසියානු ක්‍රිකට් සම්මේලනය ශ්‍රී ලංකාවෙන් ඉවත් වීමයි. අයි.සී.සී. එකට පස්සේ තියෙන ලොකුම සංවිධානය ඒ.සී.සී. එක. සති තුනකට පෙර විශේෂ රැස්වීමක් තියලා ලංකාවෙන් ආසියාවේ කේන්ද්‍රය ගලවලා තිබෙනවා. මේ ගැන කියන්න බොහොම කනගාටුයි.

මූලික හේතුව තමයි ඒ අයට පොරොන්දු වූ මූල්‍යමය වශයෙන් ස්ථාවරතාවක් මේ රටේ ආර්ථිකයේ නැති වීම. එම නිසා සහනයක් ලබාදෙන්න විදිහක් නැහැ. ආර්ථික ප්‍රතිපත්තියක් නැති නිසා ආණ්ඩුව කෙරෙහි තිබුණ විශ්වාසය ගිලිහී යෑම නිසා තමයි මේ දේ සිදුවුණේ. රටක් හැටියට මේ සිදුවුණ දේ වෙනුවෙන් ආණ්ඩුව වගකියන්න ඕන”.

උපුටනය: මව්බිම

RSL

Related Posts