මහ බැංකුව සතු රහස්‍ය දත්ත සිය බැණාට ලබාදී රජයට පාඩුවක් සිදු කළැයි චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති කුප්‍රකට අර්ජුන ලක්ෂ්මන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29 දා) නැවත වරෙන්තු නිකුත් කළාය.
අධිකරණය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැර සිටින එම සැකකරු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර ඇතැයි පෙන්වා දෙමින් නීතිපති දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය. එම නඩුවේ දෙවන හා සිව්වන සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන යන දෙදෙනා ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය පර්පෙචුවල් සමාගමට අයත් සියලු වත්කම් බැරකම් හා දේපළ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ලබා දෙන ලෙසටද පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපතිවරයාට නියෝග කළාය.
අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන යන දෙදෙනා හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු සියලු වත්කම් හා බැරකම් සම්බන්ධයෙන් විස්තර අධිකරණයට ලබාදෙන ලෙසටද එහිදී එම සැකකරුවන් දෙදෙනාට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එම ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසටද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.
එම නඩුවේ සිව්වන සැකකරු වන කසුන් පලිසේන නමැත්තා පර්පෙචුවල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස රාජකාරි කරන බැවින් එම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම්කොට තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම නියෝජනය කිරීමටද අවසර ලබාදෙන ලෙසට විත්තිය කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරිය එහිදී ප්‍රතික්ෂේප කළාය.
පර්පෙචුවල් සමාගම සතුව තිබූ සියලු දේපළ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් තහනමකට ලක්කර ඇති බැවින් එම සමාගම පසුගිය 20 වැනිදා සිට ව්‍යාපාර කටයුතු නවතා වසා දමා ඇති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණය හමුවේ පැවසීය.
වැටුප් නොගෙවීම නිසා එම සමාගමේ සේවය කළ සියලු සේවකයන් ඉල්ලා අස්වී ඇති බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.
පර්පෙචුවල් ටේ්රෂරීස් සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීම්වලදී ඉදිරිපත් වූ වාර්තා හා ප්‍රකාශවල පිටපත් එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ තොරතුරු සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට මහෙස්ත්‍රාත්වරිය එම සමාගමේ ලේකම්වරියට නියෝග කළාය.
එමෙන්ම එම සමාගම සම්බන්ධයෙන් සිදු කළ විගණන වාර්තා, විගණන විමසුම් ඇතුළු ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද එම සමාගමට අදාළ විගණන සිදුකළ සමාගමකට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ලබන 26 දා විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
පළමුවන සැකකාර අර්ජුන මහේන්ද්‍රන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ අධිකරණය හමුවේ පෙනී නොසිටීමෙන් සැකකරුවන් දෙදෙනාට දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගතවීමට සිදුවීම සම්බන්ධයෙන් ඔහු දැනුවත් කර තිබේ දැයි එහිදී මහෙස්ත්‍රාත්වරිය විත්තියේ නීතිඥවරයාගෙන් විමසා සිටියාය.