ඉන්ෆ්ලුවන්සාව මර්දනයට රජයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවට වෛද්‍යවරුන්ගෙන් චෝදනා (Video)

Spread the love

දකුණේ පැතිර යන ඉන්ෆ්ලුවන්සා රෝගය ගැන රජයේ ක්‍රියාකලාපය අපැහැදිලි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා කීවේය.

සාමාන්‍යයෙන් සෑම වසරකදීම ඇතැම් පළාත්වල මෙම රෝගය ව්‍යාප්ත වුවත් වාර්තාගත මරණ සංඛ්‍යාවක්‌ සිදු වූයේ මෙම වසරේ බව කී වෛද්‍ය අලුත්ගේ මහතා රජය ආරම්භයේදීම මෙම රෝගය ව්‍යාප්ත වීම වළක්‌වා ගැනීමට පියවර නොගත් බව ද කීවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්‌වීම ඊයේ (05) පැවති බව ද දකුණු පළාතේ දරුවන් පාසල් යෑවීම පවා ප්‍රශ්නයක්‌ව ඇතැයි එම රැස්‌වීමට පැමිණි දකුණේ වෛද්‍යවරුන් කී බව ද හරිත අලුත්ගේ මහතා කීවේය.

මෙම ඉන්ෆ්ලුවන්සා රෝගය මැඩපැවැත්වීම සඳහා රජය ප්‍රමාණවත් වැඩපිළිවෙළක්‌ ගෙන නැතැයි කී හෙතෙම වෛද්‍ය හිඟය මැඩපැවැත්වීම සඳහා වෙනත් රෝහල්වලින් අතිරේක වෛද්‍ය කණ්‌ඩායම් යෑවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ යෝජනාවට ද රජයේ සෞඛ්‍ය බලධාරීන් මෙතෙක්‌ ප්‍රතිචාර දක්‌වා නැතැයි ද වෛද්‍යවරයා කීවේය.

සාමාන්‍යයෙන් ආහාර විසවීමකදී ඊට හේතුව සොයා බැලීමට දක්‌වන උනන්දුවවත් මෙම දකුණේ පැතිර ගොස්‌ ඇති ඉන්ෆ්ලුවන්සා රෝගය ගැන සෞඛ්‍ය බලධාරීන් නොදක්‌වන බව ද මෙය මිනිසුන් මියයැමට තරම් හේතුවක්‌ ඇති දරුණු රෝගයක්‌ නොවන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.