සෝලා පැනල් ප්‍රෝඩාවේ ගණිතමය තිත්ත ඇත්ත මෙන්න!

Spread the love

pyramid1

කඩදාසි කොළයක් අතට ගන්න. එය මැදින් දෙකට නමන්න. ලැබෙන කඩදාසිය නැවතත් දෙකට නමන්න. එය නැවතත් දෙකට නමන්න. මේ ආකාරයට කඩදාසි කොළය පිට පිට පනස්හය වතාවක් දෙකට නැමීමට ඔබට හැකිද? විශාල කඩදාසියක් තෝරාගතහොත් මෙය එතරම් අසීරු නැතැයි ඔබට සිතෙනු ඇත. එහෙත් එය අතිශයින්ම සාවද්‍ය සිතිවිල්ලකි. ඒසා විශාල කඩදාසියක් ඔබට කිසිදා සොයාගත නොහැකිවා පමණක් නොවේ. එවැනි කඩදාසියක් ගෙන එය පනස් හය වතාවක් දෙකට නැමුවහොත් එයින් ලැබෙන කඩදාසි අට්ටියේ ඝනකම පොළවේ සිට හඳට ඇති දුරට සමාන වනු ඇත. ඔබට කිසිසේත්ම විශ්වාස කිරීමට අසීරු මේ අගය ගණනය කරන ලද්දේ සෝවියට් ගණිතඥ වයි.පෙරල්මාන් විසිනි. අධි වේගයෙන් ඔබ ලක්ෂපතියකු කරන බව කියන කූට ජාවාරමක ප්‍රෝඩාවගණිතමය වශයෙන් වටහාගැනීම සඳහා ඔබ මේ උදාහරණය සිත්හි තබාගෙන මේ ලිපිය කියවනු මනාය.

අරුම පුදුම සල්ලි මැෂිම

උත්සාහය තිබේ නම් ඉතා ලේසියෙන් සතියකට ලක්ෂ ගණනින් මුදල් උපයාගත හැකි බව කියන අරුම පුදුම ව්‍යාපාර කීපයක්කලක සිට රට පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. මේ ගැන දීර්ඝ හැඳින්වීමක් නොකළ යුතු තරමටම අද මේ ජාවාරම් රටේ ප‍්‍රචලිතය.බම්බලපිටියේ පිහිටා ඇති ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් නැමති සමාගම මීට අදාළ වඩාත් ප‍්‍රසිද්ධම හා බලවත්ම ආයතනයකි. ඔවුන්ගේ ප‍්‍රධාන ජාවාරම වන්නේ පිරමිඩ ක‍්‍රමයට අනුව සෝලා පැනල් අලෙවි කිරීමය. මේ සමාගම මගින් අලෙවි කරන තවත් විවිධ භාණ්ඩ, සේවා මෙන්ම මේ හා සමාන ජාවාරම්වල නිරත වෙනත් සමාගම්ද මේ රට තුළ කි‍්‍රයාත්මක වන අතර, අද වනවිට ඉන් වඩාත්ම ව්‍යාප්ත වී ඇති ජාවාරම වන්නේ සෝලා පැනල් ජාවාරමය. මේ මගඩිය පිළිබඳ කලක සිට විවිධ මාධ්‍ය ඔස්සේද හෙළිදරව් කර ඇති අතර,මෙවන් ජාවාරම්වල ස්වභාවය පැහැදිලි කරමින් ඒවාට හසුනොවන ලෙස මහ බැංකුව මගින් නොයෙකුත් නිවේදනද නිකුත් කර තිබේ. එසේ වුවද නීතිය හිල්වලින් රිංගා යමින් මේ ජාවාරම තවමත් මහ දවාලේ කි‍්‍රයාත්මක වෙයි.

මේ ලිපියේ අරමුණ වන්නේ මෙවන් ව්‍යාපාර ගැන දැනටමත් බොහෝ දෙනා දන්නා කරුණු නැවතත් විස්තර කිරීම නොවේ. ඒ වෙනුවට මෙහි අරමුණ වන්නේ මේ ව්‍යාපාර ප්‍රෝඩාවක් වන්නේ කෙසේද යන්න ගණිතමය වශයෙන් පැහැදිලි කරදීමය. එය ඉතා සරල ගණිතමය කාරණයක් වුවද බොහෝ දෙනා ඒ ගැන කල්පනා නොකිරීම මේ ජාවාරම්වලට හසු වීමට ප‍්‍රධාන හේතුවකි. එහෙයින් ඔබ මේ පිරමිඩකරුවන්ගේ සුරංගනා කථාවලට නොරැවටී සිටීමට අදාළ වැදගත්ම තුරුම්පුව වන්නේ මේ සරල ගණිතය කුමක්දැයි වටහා ගැනීමය.

ජාවාරම කි‍්‍රයාත්මක වන ආකාරය

විවිධාකාර පිරමිඩ ව්‍යාපාර අතරින් වඩා ප‍්‍රචලිතම එකක් වූ සෝලා පැනල් ජාවාරම මුල් කරගනිමින් මේ කාරණය පැහැදිලි කරගනිමු. මේ ඊනියා ව්‍යාපාරයට සම්බන්ධ වන ඔබ මුලින්ම කළ යුත්තේ රුපියල් හැටඑක්දාස් හත්සීයක් (ඉතා මෑතකදී මේ මිල තවත් ඉහළ දමා තිබේ.) ගෙවා සෝලා පැනල් කට්ටලය මිලදී ගැනීමය. එහෙත් මෙහි සැබෑ වෙලඳපල වටිනාකම රුපියල් දසදහසක් පමණ වන අතර මේ උපකරණයේ ප‍්‍රායෝගික වටිනාකම නොගිනිය හැකි තරම්ය. ඒ මන්දයත් ආලෝකය ඉතා අඩු විදුලි බල්බ හතරක් දැල්වීම සඳහා පමණක් ප‍්‍රමානවත් වන මේ උපකරණයෙන් නිවසක විදුලි බිල අඩු කිරීම සඳහා කිසිදු ප‍්‍රමානවත් බලපෑමක් කළ නොහැකි බැවිනි.

ඒ අනුව පළමුව ඔබ මේ බලූ නොවටිනා උපකරණය රුපියල් හැටඑක්දහස් හත්සීයක් ගෙවා මිලදී ගත යුතුය.ඊලඟට ඔබ කළ යුත්තේ ඔබේ තවත් හිතවතුන් දෙදෙනෙකුට මේ උපකරණ අලෙවි කිරීමය. ඒ දෙදෙනා තවත් දෙදෙනෙකුට මෙය අලෙවි කළ යුතුවෙයි. මේ ආකාරයට අලුතින් මේ ජාවාරමට ඈදෙන සෑම පුද්ගලයෙක්ම අවම වශයෙන් නව සාමාජිකයන් දෙදෙනෙකු ඊට ඈදා ගත යුතුය. ඒ අනුව මෙය දෙකේ ගුණාකාරවලින් වැඩිවෙමින් පිරමිඩාකාරව පහතට විහිදෙන අලෙවි ජාලයකි.(රූප සටහන බලන්න)ඊට සම්බන්ධ වී කඩිනමින් පෝසත් වන්නට බලාපොරොත්තු වන අයෙකුු කළ යුතු වන්නේ දෙකේ ගුණාකාර ඔස්සේ තමාගෙන් පහතට විහිදෙන මේ ජාලය හැකිතාක් විශාල කිරීමය. හැකි තාක් අලූත් සාමාජිකයන් ජාලයට එකතු කරගැනීමය. එවිට අලූතින් අලෙවිවන සෑම සෝලා පැනල් කට්ටලයක් හරහාම කොමිස් මුදලක් එහි ඉහළ සාමාජිකයන් අතට පත්වන අතර ඔබට සතියට ලක්ෂ පහළව දක්වා ඉපයිය හැකි බව කියන්නේ මේ ආකාරයට ලැබෙන කොමිස් මුදල මගිනි.

බැලූ බැල්මට මෙය ලස්සන කතාවකි. මෙම ව්‍යාපාරය සඳහා පුද්ගලයන් පොළඹවා ගනු ලබන්නේද මුළුමනින්ම හැඟීම්බර කතා සහ සුරංගනා සිහින මවා පෙන්වමිනි. තර්ක බුද්ධියට, ප‍්‍රශ්න කිරීම්වලට කිසිදු ඉඩකඩක් නොතබමිනි. කල්පනා කර, කරුණු විමසා තීරණයක් ගැනීමට නව සාමාජිකයන්ට ඇති නිදහස ඉතා කූට උපක‍්‍රම ඔස්සේ උල්ලංඝනය කරමිනි. කිසිවෙකුගේ අවවාද නොතකා ඔවුන් කියන ආකාරයට කටයුතු කළහොත් ඔබට ඉතා කෙටි කාලයකින් අති විශාල ධනවතෙකු විය හැකි බව දහඅතේ දිවුරමිනි. ධනාත්මක චින්තකයන්ද ඈදාගනිමින් සිදුකෙරෙන මේ රැුවටිලි කථාවෙන් බොහෝ පුද්ගලයන් මෝහනයට පත්වන අතර, තතු දන්නා අය පවා මුදල් අවශ්‍යතාවය නිසාම මෙය අත්හදා බැලීමට යොමුවෙති. ඇත්තෙන්ම මේ ජාවාරමෙන් වේගයෙන් පොහොසත් විය හැකි බව සම්පූර්ණ බොරුවක්ද නොවේ. එසේ පෝසත් වූ පිරිසක් රටපුරා සිටිති. එසේ නම් මෙහි ඇති අර්බුදය හෝ නරක කුමක්ද? අප මීළඟට කළ යුත්තේ එ් කාරණය ආචාර ධාර්මික වශයෙන් හා ගණිතමය වශයෙන් අවබෝධ කරගැනීමය.
මෙය ප්‍රෝඩාවක් වන්නේ ඇයි?

pyramid

මෙහි ඇති රූප සටහන විමසිල්ලෙන් අධ්‍යයනය කරන්න. එහි පෙන්වා ඇති අන්දමටමෙම අලෙවි ජාලය පහතට විහිදෙන්නේ දෙකේ ගුණාකාර වශයෙනි. එක, දෙක, හතර, අට, දාසය, තිස්දෙක, හැටහතර ආදී වශයෙන් පහතට විහිදෙන මේ සාමාජික සංඛ්‍යාව මුලදී සුළු වේගයකින් වැඩි වුවද, එය පහතට යන විට වැඩිවන්නේ අසීමිත වේගයකිනි. මේ ව්‍යාපාරයෙන් සුළු පිරිසකට කඩිනමින් මුදල් උපයාගත හැකිවීමේ රහස මෙන්ම මේ ව්‍යාපාරයේ අර්බුදයට යාමේ හේතුව ඇත්තේද මෙතැනය. වේගයෙන් වැඩිවන පිරිස නිසා ඉහළ සිටින අයගේ ආදායමද වේගයෙන් ඉහළ යනවාසේම,ඒ වේගයටම අනුව මේ ව්‍යාපාරයට සම්බන්ධ විය හැකි පිරිසද දිනෙන් දින අඩුවී යයි.

ඒ තත්ත්වය කොතෙක්ද යත් මේ ව්‍යාපාරය සිදුවන ක‍්‍රමයට අනුව මේ සාමාජික ජාලය පහතට වර්ධනය වුවහොත් ස්තර විසි පහකදී එය ලංකාවේ ජනගහන මට්ටමද ඉක්මවා යයි. ස්තර තිස් හතරකදී එය ලෝක ජනගහනයද ඉක්මවා යයි. එහි තේරුම වන්නේ මේ ව්‍යාපාරය ව්‍යාප්ත වීමේ වේගය අනුව ඉතා කෙටි කාලයකදී එයට මේ රටේ මිනිස්සු ප‍්‍රමාණයද නිසැක ලෙසම මදිවන බවය. මුදල් යෙදවීමට මිනිසුන් මදිවන විට සිදුවන්නේ පිරමිඩයේ ඉහළ පිරිස් තාවකාලිකව පෝසත් කරමින් පහළ සිටින අති විශාල පිරිසකට යොදවන මුදල පවා නිසැක වශයෙන්ම අහිමි වී යාමය.

ජනගහණය මදිවීම

මේ ජනගහන කතාව ඇසූ පමණින් බොහෝ දෙනකු එකවරම සිතන්නේ එය තව වසර ගණනාවකින් සිදුවන, අද හෙට කරදර නොවිය යුතු ප‍්‍රශ්නයක් ලෙසය. වසරින් වසර රටේ ජනගහන සංයුතිය වෙනස් වීමද ඊට හේතුවක් විය හැකි බවය. ඒ නිසා තමන්ට උත්සාහය ධෛර්යය තිබේ නම්, විශාල මිතුරන් පිරිසක් සිටී නම්ඉතා සාර්ථකව මේ ව්‍යාපාරය සිදුකළ හැකි බවය. එහෙත් එය කිසි ලෙසකින්වත් එසේ නොවේ. දෙකේ ගුනාකාර ඔස්සේ දිවෙන මේ සංඛ්‍යා රටාව අනුව ජනගහනය මදි වීමේ ගැටලුව ඉතා කෙටි කාලයක් තුළ ඉස්මතු වන්නකි. සෑම වසරකම අවුරුදු දහඅටඨ වැඩි පිරිසක් ජනගහනයට අලූතින් එකතු වුවද, මේ පිරමිඩයේ වර්ධන වේගයට අලගු තැබීමටවත් එය ප‍්‍රමානවත් නොවේ. පනස් හය වතාවක් කඩදාසියක් නැමීම පිළිබද මේ ලිපියේ මුලින් දක්වා ඇති කාරණය නැවතත් සිහිනගා ගන්න. මේ සංබ්‍යා රටාවේ නොසිතූ විරූ වර්ධන වේගය වටහා ගැනීමට එය කදිම උදාහරණයකි.

ප‍්‍රායෝගිකව ගත්විට රටක සමස්ත ජනගහනයෙන් මේ ව්‍යාපාරයට සම්බන්ධ විය හැක්කේ කිසියම් පංගුවකට පමණි. ඒ පිරිසද කිසිසේත්ම සම්පූර්ණයෙන් මේ ව්‍යාපාරයට සම්බන්ධ නොවේ. එහෙයින් ප‍්‍රායෝගිකව මේ පිරමිඩය පහතට වැඩෙන්නේ එහි අතර මැද හිස් තැන් විශාල ප‍්‍රමාණයක් ඉතිරි කරමිනි. එහෙත් මේ ව්‍යාපාරයට සම්බන්ධ වීමේ හැකියාව ඇති මිනිසුන් සංඛ්‍යාව දිනෙන් දින අධික වේගයෙන් පහත වැටීම ඒ කිසිවකින් වලකාලිය හැක්කක් නොවේ. අනෙක් අතින් අතරමැද හිස්තැන් ඉතිරි වීම යනුද විශාල පිරිසකට දැනටමත් යෙදවූ මුදල අහිමි වීමකි. ඒ අනුව මේ පිරමිඩාකාර සාමාජික ජාලය පූර්ණ ලෙස වැඩුණත්, අසම්පූර්ණ ලෙස වැඩුනත් එය ඉතා වේගයෙන් අර්බුදයට යාම හා අති විශාල පිරිසක් අනිවාර්යෙන්ම අමාරුවේ වැටීම වැළැක්විය හැකි නොවේ.

ඒ අනුව ඔබ කෙතරම් උත්සාහවන්තයෙක් වුවත්, ඔබට කෙතරම් සමාජ සම්බන්ධතා තිබුණත්, ඉහත කී ගණිතමය ඇත්තට පිටුපා ඔබට මේ ව්‍යාපාරය සාර්ථක කරගත හැකි නොවේ. ඔබ මෙය සාර්ථකව සිදුකළද ඔබේ සාර්තත්වය වෙනුවෙන් විශාල පිරිසක් අමාරුවේ වැටීම වැළැක්විය හැකිනොවේ. මෙයින් ඉක්මන් පෝසතුන් වූ සුුළු පිරිසක් සිටින බව ඇත්තක් වුවද මේ ව්‍යාපාරය ඔස්සේ කාට වුවද ඉදිරියට යා හැකි වන්නේ ඉතා කෙටි කාලයකි. දිනෙන් දින මේ ව්‍යාපාරයට සම්බන්ධ විය හැකි පිරිස අධික වේගයෙන් පහත වැටෙන අතර මේ ව්‍යාපාරය දැනටමත් ඒ අර්බුදයට තදින්ම මුහුණ දී තිබෙන්නකි. නිකමට ඔබ මේ ව්‍යාපාරය පිළිබඳ දන්නා හඳුනන කීප දෙනෙකුගෙන් විමසා බලන්න. දහදෙනෙකුගෙන් අට දෙනෙකුටවත් දැනටමත් මේ ව්‍යාපාරයට සම්බන්ධ වන ලෙස කාගෙන් හෝ කූට ඇරයුමක් ලැබී හමාරය. අද මේ රටේ සෑම අස්සක් මුල්ලක් පාසාම බෝ වී සිටින සෝලා ජාවාරම් කාරයන් දන්නා සියලූ දහං ගැට යොදමින්, තවත් අය මීට සම්බන්ධ කරගැනීමට වලිකමින් සිටිති. මෙහි ඇති වංචනික බව හා අප‍්‍රායෝගික බව වටහාගන්නා ඇතමුන් පාඩුව දරාගෙන නිහඬ වුවද, තවත් සමහරුන්ගේ උත්සාහය වන්නේ දැන දැනම හෝ තමන් යෙදවූ මුදල නැවත සොයාගැනීමේ අටියෙන් මේ ජාවාරමට දායක වීමය.

වංචාවේ තරම

මේ ජාවාරම් ගැන අවශ්‍ය නම් තව ලිවිය හැකි දේ බොහෝ වුවද ලිපියේ ඉඩකඩ සලකා දැනට ඒවායේ මූලික ලක්ෂණ මෙසේ පිඩු කළ හැකිය.
1. බොරුව, වංචාව හා සුරංගනා කතා මගින් පුද්ගලයන් පොළඹවා ගැනීම.
2. අතිශය නොවටිනා භාණ්ඩයක් ප්‍රෝඩාකාරී ලෙස අති විශාල මුදලකට අලෙවි කිරීම.
3. මේවා ලංකාව ඇතුළු බොහෝ රටවල තහනමට ලක්ව ඇති නීතිවිරෝධී ව්‍යාපාර වීම.
4. නීතියේ හිල්වලින් රිංගා මේ ව්‍යාපාර ක‍්‍රියාත්මක කළද එයින් සිදුවන සමාජ හානියේ කිසිදු අඩුවක් නොවීම.
5. ගණිතමය වශයෙන් ඔප්පු කළ හැකි පරිදි කෙටි කලක් තුළ සිදුවන අධික ව්‍යාප්තිය හා ජනගහනය ප‍්‍රමානවත් නොවීම මත ඉතා කෙටි කලකින් මේ පිරමිඩය අර්බුදයට යාම හා බිඳවැටීම.
6. සුළු පිරිසක් වංචාකාරී ලෙස වේගවත් ධනවතුන් බවට පත්වෙමින් මීට සම්බන්ධ වන සීයට අනූවකට වැඩි පිරිසකට තමන් යෙදවු මුදල පවා අහිමි වීම.
මේ ආකාරයට අද රට පුරා මේ ජාවාරමට හසුවී මුදල් මෙන්ම තම මිතුරන්ද අහිමි කරගත් පිරිස අති විශාලය. එසේ වුවද බොහෝ දෙනා ලැජ්ජාව ආදී හේතු නිසා මේ බව සඟවා ගෙන සිටීමටද පෙළඹෙති. ඊට අමතරව මෙවන් ජාවාරම් නිසා නීතිය ඉදිරියේද ඔබ වැරදිකරුවෙකු විය හැකිය.

මේ ව්‍යාපාරයේ නිසඟ ස්වභාවය අනුවම එය ඉතා විනාශකාරී සූදුවක් මිස කිසිසේත්ම සාධාරණ හා ප‍්‍රායෝගික ව්‍යාපාරයක් නොවේ. ඔබ ඊයේ හෝ අද මේ ව්‍යාපාරයට සම්බන්ධ වී සුළු හෝ විශාල මුදලක් උපයා ගත්තද, මේ හරහා තවත් අති විශාල පිරිසකට තමන්ගේ මුදල අහිමි වීම කෙසේවත් වලකාලිය හැක්කක් නොවේ. මේ පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය අයෙකුට ශී‍්‍ර ලංකා මහ බැංකුවෙන්ද ලබාගත හැකිය.(ශ‍්‍රී ලංකා මහ බැංකුව, 30, ජනාධිපති මාවත, කොළඹ 1. දුරකථන – 2477418/ 2477639) මහ බැංකුව මේ සම්බන්ධව පති‍්‍රකා නිකුත් කිරීම පමණක් කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවේ. වගකිව යුතු සියල්ලෝ මේ සම්බන්ධව වහ වහා කි‍්‍රයාත්මක විය යුතුය.

ඉසුරු ප‍්‍රසංග

RSL

Related Posts