සමාජ බලපෑම හමුවේ ආණ්ඩුව සමාජජාල අවහිරතා ලිහිල් කරයි

Spread the love

ජාතිවාදී ගැටුම් දඩමීමා කරගනිමින් වාරණයට ලක් කළ සමාජ ජාල මාධ්‍ය තහනම, ආණ්ඩුවට එල්ලවන සමාජ බලපෑම හමුවේ ක්‍රමිකව අඩුකරමින් තිබේ. දින තුනක් වෙනුවෙන් සිදුකරන ලද වාරණය අඛණ්ඩව දින 7ක් දක්වා ආණ්ඩුව විසින් උපක්‍රමශීලීව දිග්ගැස්ස වීමත් සමඟම සමාජයේ විවිධ සංවිධානවලින් සහ ජනතාවගෙන් දැවැන්ත බලපෑමක් එල්ල වූ අතර ඒ අනුව ආණ්ඩුවට මෙම වාරණය බලාපොරොත්තු නොවූ පරිදි ඉවත් කරගැනීමට කටයුතු කිරීමට සිදුවිය. එහි පළමු පියවර ලෙස ඊයේ(13) Viber සඳහා පනවා තිබුණු වාරණය ඉවත් කළ අතර, අද(14) රාත්‍රී WhatsApp වාරණය ඉවත්කිරීමට තීරණය කර ඇත.

තවදුරටත් Facebook වාරණය කරනු ලබන අතර, තවදුරටත් සීමාවට ලක් කර තිබෙන සමාජ ජාල අඩවි සහ සේවාවන් පිළිබඳ ජනපති අධ්‍යයනයෙන් පසු ජනාධිපතිවරයා, අද දින මධ්‍යම රාත‍්‍රියේ සිට වට්ස්ඇප් සේවාව වෙත දැනට ක‍්‍රියාත්මක වාරණය ඉවත් කිරීමට ද උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහෙත් සමාජ මාධ්‍ය ජාලා අවභාවිත කරමින් ජාතිවාදය, වර්ගවාදය පතුරුවා හරිමින් ජන ජීවිතය අවුල් කිරීම හා පුද්ගල ප‍්‍රතිරූපවලට හානිකිරීම වැළැක්වීම සඳහා වූ නියාමන ක‍්‍රමවේදයක අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ඒ අනුව, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් හෙට (15) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

එමඟින්, හැකි ඉක්මනින් ෆේස්බුක් වෙබ් අඩවියට පනවා ඇති තාවකාලික වාරණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ ආවේක්ෂණය ක‍්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටින බව එම නිවේදනයේ තව දුරටත් දැක්වෙයි.

එසේම, රට තුළ නොසන්සුන්තාවක් යළි ඇති වීමට ඉඩ නොතබමින්, සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත්, මෙවැනි කි‍්‍රයාවන්ට වරදකරුවන් වන අයට නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

පසුගිය දිනවල, සමාජ මාධ්‍ය අවභාවිත කරමින් ජාතික සමගියට බාධා වන පරිදි දිවයින පුරා වර්ගවාදය සහ ප‍්‍රචණ්ඩත්වය මුදා හැරීම සහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සංවිධානය කිරීම වැළැක්වීමේ පියවරක් ලෙස ඇතැම් සමාජ ජාලා වෙත ප‍්‍රවේශ වීමේ හැකියාව තාවකාලිකව සීමා කිරීමට රජය විසින් කටයුතු කරන ලදී.

RSL

Related Posts