ශ්‍රීලනිපයේ දැවැන්ත වෙනසකට තාවකාලික පුටු වෙනසක්; මහින්දට ජ්‍යේෂ්ඨ උපදේශකත්වය!

Spread the love

ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සඳහා අද(03) නව තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත්කර තිබේ.

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී රැස්වූ අතර එහිදී මෙම නව නිලධාරී මණ්ඩලය පත් කර ගැණුනි.

ඒ අනුව පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි තෝරාපත් කරගෙන තිබේ.

නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් පක්ෂ උපදේශක මණ්ඩලය ලෙස තෝරා පත් කරගෙන ඇති අතර ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අග්‍රමාත්‍ය දිමු.ජයරත්න යන මහත්ම මහත්මීන් උපදේශ මණ්ඩලයට අයත් වෙයි.

එසේම පක්ෂයේ මහලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත්කරගෙන තිබේ.

ජාතික සංවිධායකවරයා ලෙස දුමින්ද දිසානායක අමාත්‍යවරයාත් භාණ්ඩාගාරික ලෙස එස්.බී.දිසානායක මන්ත්‍රීවරයාත් පත්කර ගැණුනු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජ්‍යේෂ්ඨ උප සභාපතිවරුන් සිව් දෙනෙකු තෝරාපත් කරගෙන ඇති අතර නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශනා යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ඒ අතරට අයත්.

උප සභාපතිවරුන් ලෙස ඒ.එච්.එම්.ෆවුසි, ආචාර්ය සරත් අමුණුගම, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රෙජිනෝල්ඩ් කුරේ, පියසේන ගමගේ, විජිත් විජයමුණි ද සොයිසා, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, ශාන් විජේලාල් ද සිල්වා සහ අංගජන් රාමනාධන් යන මහත්වරුන් පත්කරගෙන තිබේ.

උප ලේකම්වරුන් ලෙස රංජිත් සියඹලාපිටිය, සරත් ඒකනායක, ධර්මසිරි දසනායක, ඉසුර දේවප්‍රිය, චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සහ සුමේධා ජී.ජයසේන යන මහත්ම මහත්මීන් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.