SL VS NZ: කුසල් මෙන්ඩිස් අංක 7 ස්ථානයට

Spread the love

එංගලන්තයට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී ලබාගන්නා ලද ටෙස්ට් තරග ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු තව තවත් වැඩිවී ඇති බව නොරහසකි. එබැවින් අද (18 දා) නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තරග බිමට පිවිසෙන්නේ කලකට නොතිබුණු අමුතුම ජවයක් සමඟිනි.

සනත් ජයසූරිය කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්වූ දා සිටම යම් කිසි වෙනසක් සිදුකිරීමටසමත්වූවේය. ඉන්දියාවට එරෙහිව ලද එක්දින තරගාවලි ජයග්‍රහණයත් අවසන් වතාවට එංගලන්තයට එරෙහිව ඔවුන්ගේ නිජබිමේදීම ලබාගත් ටෙස්ට් තරග ජයග්‍රහණය ඊට හොදම උදාහරණ සපයයි.

එහෙත් හෙට තරගයේදී එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ මිලාන් රත්නායක ක්‍රීඩා නොකරනු ඇත. තරගයට පෙර හෙට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් 11 දෙනා කවුරුන්ද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මේ වන විටත් ප්‍රසිද්ධියට පත් කර ඇතත් ඒ 11 දෙනා අතරට මිලාන් රත්තානයකට ඉඩක් නොමැත. ඒ එක් විශේෂත්වයකි.

අනෙක් විශේෂත්වය වන්නේ මෙතෙක් දිනක් අංක 3 පිතිකරු ලෙසින් ක්‍රීඩා කරන ලද කුසල් මෙන්ඩිස් හෙට දිනයේදී අංක 7 පිතිකරණ ස්ථානයෙන් පිටියට සේන්දුවීමට ඇති ඉඩ කඩයි. කඩුලු රැකීමේ කාර්යය දුෂ්කර කටයුත්තක් බවත්, එවැනි කටයුත්තක් කිරීමේදී අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණීම ප්‍රධාන පෙළේ පිතිකරුවකු ට අසීරු යැයි හැඟී යෑම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමනාකාරීත්වය එම තීරණයට එළැඹ සිටියි.

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට අයත් තරගාවලියක් බැවින් මෙය සුලුවෙන් තැකිය නොහැක්කකි. එහෙත් සනත් ජයසූරිය කටයුතු කරන ආකාරය අනුව එය එසේ නොවුණහොත් පුදුමයක් නොවේ. ඒ ඔහු කණ්ඩායමේ අභිවෘද්ධිය වෙනුවෙන් තීරණය ගන්නේ නම් එය කිසිදු පැකිළීමකින් තොරවම ගන්නා බැවිනි. ඉහත කුසල් මෙන්ඩිස් සම්බන්ධ තීරණය, පුහුණුකරුගේ අදහස වන්නේද මීට පෙර පිතිකරුවකු ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාරගෙන් කඩුලු රකින ආවරණ ඉවත් කළ පසු ඔහු පිතිකරුවකු ලෙස ලත් අතිෂය සාර්ථකත්වය පිළිබඳ මතකයයි. ඒ සනත් කණ්ඩායමට ක්‍රීඩා කරන අවධියේදී ඔහු සතුවූ සුන්දර මතකයන් අතරින් එකකි. එබැවින් මෙන්ඩිස් පිළිබඳ තීරණය ගැනීමට දෙවරක් පසුබට නොවන්නේ එබැවිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂඥ පිතිකරුවකු ලෙස ඔෂධ ප්‍රනාන්දු ඇතුළත් කර ඇතත් හෙට තරගයේදී ඔහුට ස්ථානයක් වෙන්ව නොමැත. කෙසේ වෙතත් පිතිකරුවන් හත් දෙනෙකු සමඟින් ශ්‍රී ලංකාව හෙට තරගයට අවතීර්ණ වන අතර පන්දු යවන්නන් සිව් දෙනෙකි. ඉන් දෙදෙනෙක් දඟ පන්දු යවන්නන් වන අතර ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු වේග පන්දු යවන්නෝ වෙති. දින 5 ක තරගයක් බැවින් පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් අවතීර්ණ වීම තරමක් කුකුසක් දනවන සිදුවීමක් වුවත්, අවශ්‍ය විටෙක නායක ධනංජය ද සිල්වාට මෙන්ම ඇන්ජලෝ මැතිව්ස්ටද පන්දුයැවීමේ හැකියාව නිසා එය තරමක් දුරට මකා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට උදාවී තිබේ.

මේ පිිබඳව කතිකාව පැමිණෙන්නේ තුන්වැනි වේග පන්දු යවන්නා ගැන විමසීමේදීය. එ් පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තුමා සඳහන් කර සිටියේ මෙවන් අදහසකි. “තුන්වැනි වේග පන්දුයවන්නෙක් ගැන කතා කරනකොට ඔය කතා කරන්නේ මිලාන් රත්නායක ගැන. ඔහු එංගලන්ත තරගාවලියේදී පන්දුවෙන් විතරක් නොවෙයි පිතිකරුවකු ලෙසත් ලොකු සේවයක් කන්ඩායම වෙනුවෙන් කළා. නමුත් ගාල්ල ක්‍රීඩාංගණයේදී ඔබ කණ්ඩායමේ සමබරතාව සකසා ාගන්නේ නම් තවත් අතිරේක දඟ පන්දු යවන්නෙක් කණ්ඩායමට ගෙන ආ යුතුයි“ යනුවෙනි.

මෙම තත්ත්වය මත ප්‍රභාත් ජයසූරිය මෙන්ම රමේෂ් මෙන්ඩිස් දඟ පන්දු යවන්නන්ගේ කාර්යය භාරය සිදුකිරීමේ අභිලාෂයෙන් සිටිති. කෙසේ වෙතත් වැඩිදුරටත් අදහස් දක්වා සිටින ජයසූරිය මහතා සඳහන් කර සිටියේ “කණ්ඩායමට අවශ්‍ය වන්නේ නම් ඇන්ජලෝ මැතිව්ස්ද පන්දු යැවීමට සූදානමින් සිටිය යුතුයි“ යන්නය.

“ඇත්තටම මිලාන් ගැන මෙතැනදි සදහන් කළ යුතුයි. මොකද ඔහුගේ පළමු සංචාරයේදී ඔයු කරපු දේවල් අගය කළ යුතුයි. ඔහු පරිණත ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළා. නමුත් ඔහුව හෙට ක්‍රීඩා කරන 11 දෙනා අතරට ගෙන න්න බෑ. ගාල්ල තණතීරුව කොයි වගේ එකක්ද කියලා අපි දන්නවා. අපි දැනටමත් ඒ සඳහා කණ්ඩායම ලෑස්ති කරලා තියෙන්නේ අපේ සතු හොඳම වේග පන්දු දෙදෙනා වන අසිත සහ ළහිරු කුමාරගෙන්“ යැයි ජයසූරිය මහතා සඳහන් කරයි.

එමෙන්ම කණ්ඩායමෙන් ඉවත් කර ඇති අනෙක් වේග පන්දු යවන්නා වන්නේ පළපුරුදුම විශ්ව ප්‍රනාන්නදුය. වමතින් වේග පන්දු යවන විශ්ව ඕවල් පිටියේදී අමරණීය පන්දු යැවීමක නිරත වෙමිින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ගෙන දුන්නේය. ඔහු මේ වසරේ පමණක් කඩුලු 21 ක් දවා ගැනීමට සමත්ව සිටින්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 21.61 ක් රදවා ගනිමිනි. එහෙත් ඔහුගේ එම දක්ෂතාවය ළහිරු කුමාරගේ වේගය අභිබවා තිබේ.

ඉතින් සඳහන් කළ ආකාරයට චන්දිමාල් හෙට දිනයෙදී අංක 3 ස්ථානයෙන් පිටියට පිවිසෙනු ඇත. “චන්දිමාල් හෙට දිනයේදී කඩුලු රැකීමේ කාර්යයේ නිරත වෙන්නේ නෑ. අපි බලලා තියෙනවා ඔහු අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණිය යුතුයි කියලා. මොකද කඩුලු රැක්කොත් අංක 3 ක්‍රීඩා කරනවා කියන්නේ අතිශය අසීරු කටයුත්තක් බව සැවොම දන්නා කරුණකි. එංගලන්ත තරගයේදී චන්දිමාල් කඩුලු රැකීමේ කාර්යයේ නිරත වුවත් කොන්ද ආශ්‍රිත ආබාධිත තත්ත්වයකට මුහුණ දීම නිසා එයින් වැළකී සිටියේය. එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදීද කඩුලු රැකීමේ කාර්යේ නියැළී සිටියදී ඔහු ඇඟීල්ලේ ආබාධයකට මුහුණ දුන්නේය.

දෙරට අතර තරගය පෙ.ව. 10.00 ට ආරම්භ වන අතර එම ටෙස්ට් තරග 2 ම නොමිලේ නැරැඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා කආයතනය පියවර ගෙන තිබේ. පළමු ටෙස්ට් තරගයේ සිට දෙසැම්බර් මස 30 වැනිදායින් නිමාවට පත්වන දෙවැනි ටෙස්ට් තරගය නැරඹීමට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිව්වන දොරටුව හරහා ක්‍රීඩාංගණයට පිවිසෙන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ලෝලීන්ට වැඩි දුරටත් දැනුම් දී සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම  – දිමුත් කරුනාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා(නායක), කමිදු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු

නවසීලන්ත සංචිතය – ටිම් සවුති (නායක), කේන් විලියම්සන්, ටොම් ලේතම්, විල් යංග්, ටොම් බ්ලන්ඩල්, ඩෙවෝන් කෝන්වේ, මයිකල් බ්‍රේස්වෙල්, ඩැරල් මිචෙල්, ග්ලෙන් පිලිප්ස්, රචින් රවීන්ද්‍ර, මිචෙල් සැන්ට්නර්, මැතිව් හෙන්රි, විලියම් ඔරූක්, අජාස් පටෙලන්, බෙන් සීයර්ස්

මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට්

 

Related Posts