කුමන්ත්‍රණකාරී දින 50දී අපේ ආර්ථිකය විනාශ වුණා

Spread the love

පුළුල් විෂය පථයක් සහිත අමාත්‍යාංශයක් වන වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙහි කටයුතු කිරීමේදී වරාය හා නාවික ක්‍ෂේත්‍රයේ පමණක් නොව ඊට අදාළ අනෙකුත් ක්‍ෂේත්‍රයේ පිළිබඳවද අවධානය යොමු කරමින් ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරීම තම අභිප්‍රාය බව වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සිය අමාත්‍යාංශයේ වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව පැවැසීය.

වරාය අධිකාරිය යනු ශ්‍රී ලාංකේය ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ආයතනයක් වන බවද එම ආයතනයෙහි දියුණුව වෙනුවෙන් සියලු දෙනා කණ්ඩායමක් ලෙස අත්වැල් බැඳගත යුතු බවද සාගල රත්නායක අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී ප්‍රකාශ කෙළේය.

පසුගියදා (21දා) වරාය අමාත්‍යාංශයේදී නව වරාය අමාත්‍යවරයා තම අමාත්‍යාංශ වැඩකටයුතු ආරම්භ කළේය.

මෙම අවස්ථාවේදී සාගල රත්නායක අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

රටට විශාල හානියක් වුණු දීර්ඝ දේශපාලන අර්බුදයක් මේ රටේ පැවැතුණා. දින 51ක් පමණ මේ රටේ කටයුතුවල පසුබෑමක් ඇති වුණා. විශේෂයෙන් අපේ ආර්ථිකයට මෙම තත්ත්වය විශාල වශයෙන් හානිකර වුණා. එම කුමන්ත්‍රණකාරී කාලසීමාවෙන් පසුව නැවත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිවුරුම් දුන්නා. ඉන් අනතුරුව පසුගිය දා (20දා) කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නා. අගමැතිතුමා දිවුරුම් දීමෙන් පසුව අමාත්‍යවරු සහ අමාත්‍යවරියන් හමුවීමේදී එතුමා ප්‍රකාශ කර සිටියේ වහාම අමාත්‍යාංශයන්හි වැඩ කටයුතු ආරම්භ කරන ලෙසයි. ඒ අනුව අප අද දින (21දා) අමාත්‍යාංශයෙහි වැඩ කටයුතු ආරම්භ කළා. මෙය රටට ඉතාම වැදගත් අමාත්‍යාංශයක්. පසුගිය කාලයේ මෙම අමාත්‍යාංශයෙන් රටේ භාණ්ඩාගාරයට විශාල මුදල් ප්‍රමාණයක් ලබාදුන්නා. මෙය රටේ ආදායමට විශාල දායකත්වයක් ලබාදුන් වැදගත් අමාත්‍යාංශයක්. වරාය හා නාවික

ක්‍ෂේත්‍රය එදාට වඩා අද පුළුල් වී තිබෙනවා. හැම දෙයක්ම වාගේ නවීකරණය වී තිබෙනවා. කාලයත් සමඟ ඉදිරියට යන්නත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කරලා තිබෙනවා. එසේම මින් පෙර මේ අමාත්‍යාංශයෙහි පක්ෂ කිහිපයක ජේ‍යෂ්ඨ අමාත්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

ඒ අමාත්‍යවරු සියලු දෙනා මෙම ආයතනයේ වැඩ කටයුතු අදාළ නිලධාරීන් සමඟ සේවක මණ්ඩලය සමඟ සාර්ථකව රටට වැඩදායී ලෙස සිදු කළා.

එම නිසා එම ආකාරයෙන් සහ ඊටත් වඩා සාර්ථක අන්දමින් කටයුතු කිරීමට මටත් ඔබටත් අද පැවැරී තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම එම කටයුතු එකතු වී කණ්ඩායමක් ලෙස ඉටු කළ යුතුයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඒ අදාළ පර්යන්තයන්හි කටයුතු දියුණු කරන්න තිබෙනවා. ඒ වගේම වරාය හා නාවික ක්‍ෂේත්‍රය දෙස පුළුල් ලෙස බලා එය සංවර්ධනය කිරීමට අවශ්‍යයි. ඔබ දියුණු විය යුතුයි. ඔබේ රට දියුණු විය යුතුයි. අපේ රටේ ජනතාව දියුණු විය යුතුයි. මේ හැමදේටම දායක වන ලෙස තමයි අප වැඩකටයුතු සිදු කළ යුත්තේ. ඒ නිසා අපි කවුරුත් එකතු වී කටයුතු කරමු.

-මව්බිම-

RSL

Related Posts