මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හඳුන්වා දුන් ‘මිල සූත්‍රය’ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ විමසූ විට එම මිල සූත්‍රය සම්බන්ධයෙන් තොරතුරක් දීමට නොහැකි බව නිල වශයෙන් දන්වා ඇති බව ඊයේ (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන් ජාත්‍යන්තර වෙළෙඳ පොළේ අද බොරතෙල් බැරලයක මිල ඩොලර් 140 ක් වුවහොත් මෙම මිල සූත්‍රය යටතේ ලංකාවේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 295 හෝ 297 ක් වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
2008 වසරේදී ජාත්‍යන්තර වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 140 ක් විය. පෙට්‍රල් මිල මෙතරම් ප්‍රමාණයක් ඉහළ නොගිය බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම මිල සූත්‍රය යටතේ මෙලෙස මාසයකට දෙතුන් වරක් ඉන්ධන මිල ඉහළයාම කෙතරම් විනාශකාරී සූත්‍රයක් දැයි පැවසූ ඩලස් අලහප්පෙරුම මහතා මෙයට එරෙහිව මුළු රටේම විරෝධයක් ගොඩනැගී ඇතැයිද කීය.
මංගල සමරවීර ඇමැතිවරයා හැරෙන්න අනෙකුත් කැබිනට් ඇමැතිවරුන් හෝ ජනාධිපතිවරයා පවා නොදන්නා මෙම මායාකාරී ගුප්ත මිල සූත්‍රය කුමක්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
මෙම මිල සූත්‍රය නිර්මාණය වුණේ කෙසේද මිල වැඩිවන්නේ කුමන ආකාරයටද කුමන අභිප්රායකින්ද කුමන යාන්ත්රණයකට සාපේක්ෂවද කියා කිසිවකු නොදන්නා බවත් රටේ අරාජිකත්වය අසමත්භාවයට මෙයට වඩා උදාහරණ කුමටදැයි හෙතෙම පැවසීය.
මාස පතා ඉන්ධන මිල ඉහළ දමන්නේ නම් ඊට සමාන්තරව රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික සේවයේ වැටුප් වැඩි වන වැටුප් සූත්‍රයක් නිර්මාණය විය යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.