විජේවීර ජීවතුන් අතරද..? නැද්ද..? – බිරිඳ අධිකරණයෙන් විමසයි
- RSL
- June 30, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- JVP, Rohana Wijeweera
- 0 Comments
වසර 29 ක් තිස්‌සේ අතුරුදන්ව සිටින සිය සැමියා ජීවත්ව සිටින්නේ නම් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට හබයාස් කෝපුස් ආඥාවක් මගින් බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ ඊයේ (29දා) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළාය.
මේජර් ජෙනරාල් ජානක පෙරේරා (මියගිය) මහතා ඇතුළු ආරක්‌ෂක අංශ නිලධාරීන් කණ්‌ඩායමක් විසින් 1989.11.19 වැනිදා සිය සැමියා අත්අඩංගුවට ගත් බවත් ඉන්පසුව මේ දක්‌වා ඔහු පිළිබඳව නිශ්චිත තොරතුරක් තමා ඇතුළු පවුලේ සාමාජිකයන්ට නොලැබුණ බවත් පෙත්සම්කාරිය අධිකරණයට දන්වා තිබිණි.
ඔහු මියගියේ නම් හෝ ඝාතනය වූවේ නම් ඒ සම්බන්ධයෙන් නිශ්චිතවම දැනගැනීමේ අයිතියක් තමා ඇතුළු පවුලේ සාමාජිකයන්ට හිමිවිය යුතු බැවින් ඒ සම්බන්ධයෙන් හබයාස් කෝපුස් විමර්ශනයක් මහෙස්‌ත්‍රාත් අධිකරණයක් හමුවේ සිදුකරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසත් සුදුසු වන්දි මුදලක් හා නඩු ගාස්‌තු ගෙවනා ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරනා ලෙසත් පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
හිටපු ආරක්‌ෂක නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් විඡේරත්න, ආරක්‌ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජෙනරාල් සිරිල් රණතුංග, ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න, ජෙනරාල් හැමිල්ටන් වනසිංහ, මේජර් ජෙනරාල් ජානක පෙරේරා, කපිතාන් ගාමිණී හෙට්‌ටිආරච්චි, ලුතිනන් කරුණාරත්න හා නීතිපති ඇතුළු 11 දෙනකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.

