එජාපයේ රැඩිකල් වෙනසක් වෙනුවෙන් රනිල් ඇතුළු සහචරයින්ට එරෙහි කඩු පහර රවීගෙන්!

Spread the love

ජාතික ලැයිස්‌තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක්‌ පක්‍ෂය විනාශ මුඛයට ඇඳ දමා ඇති බවත්, ඔවුන්ගෙන් පක්ෂය මුදවාගෙන රැඩිකල් වෙනසක් සිදුකිරීමට කාලය එලඹ ඇතැයි එක්‌සත් ජාතික පක්‌ෂ උපනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා කියා සිටී.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කිසිදු ජනපදනමක්‌ නොමැති එම සුළුතරය පක්‌ෂයට සිදුකර ඇති විනාශය යළි ආපස්‌සට හැරවීමට නොහැකි තරම් බරපතළ වී ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ පක්‌ෂ්‍ය තුළ රැඩිකල් වෙනසක්‌ සිදුවිය යුතු බවත් තරුණ කොටස්‌ සඳහා ඉදිරියට පැමිණීමට අවස්‌ථාව සලසා දිය යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ඊයේ (01 දා) පෙරවරුවේ මෝදර, කිඹුලාඇළ ප්‍රදේශයේ ක්‍රීඩා සංගම් සඳහා ක්‍රීඩා භාණ්‌ඩ ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස්‌ දක්‌වමිනි.

“බලය ගත්තට පස්‌සෙ තමන් ළඟ සිටි අය අමතක වෙනව. හරියට තමන්ගෙ ගෙදර අය ඉද්දී අල්ලපු ගෙදර අයට ආලය කරනවා වගේ. අද අපි පාක්‌ෂිකයන් ගැන හිතන්න ඕනෑ. පාක්‌ෂිකයන් ආරක්‌ෂා කරන්න ක්‍රමවේදයක්‌ සකස්‌ කළ යුතුයි. එක්‌සත් ජාතික පක්‌ෂ පසුපෙළ මන්ත්‍රීවරු පක්‌ෂය වෙනුවෙන් විශාල වැඩකොටසක්‌ සිදුකර තිබෙනවා. අපේ පක්‌ෂය ප්‍රතිසංවිධානය කළ යුතුයි. අපි ඒක එදා ඉඳලා ප්‍රකාශ කළා. අපේ පක්‌ෂය විතරක්‌ නොවේ අනෙකුත් පක්‌ෂ වලත් ප්‍රතිසංවිධානයක්‌ අවශ්‍ය වී තිබෙනවා.

හොඳම උදාහරණය තමා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය, ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගිහින්, නැවත අත්තනගල්ල ආසනය භාර ගත්තා. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය බැලුවොත් තුන්ෙවැනි තැනට ඉන්නෙ. මා සම්බන්ධයෙන් මාරපන කමිටුව පත් කළා. ජනවරමක්‌ නොමැති අය කොහොමද, ජනපදනමක්‌ තිබෙන මා වැනි කෙනෙකු පිළිබඳව තීරණ ගන්නෙ.

මේව රට්‌ටු හිනස්‌සන වැඩ. අද ජනතාවට දේශපාලනය එපා වෙලා. මම මුදල් ඇමැති කාලෙ ජනතාවට දැනෙන වැඩ කොටසක්‌ කළා. ජාතික රක්‌ෂණ භාර අරමුදල හරහා රටම රක්‌ෂණය කළා. පාසල් ළමුන් සඳහා විශේෂ රක්‌ෂණ ක්‍රමයක්‌ හඳුන්වා දුන්නා. අඩු ආදායම්ලාභී ජනතාව සහ සුළු, මධ්‍යම, මහා පරිමාණ ව්‍යාපාරික ජනතාව සඳහා සහන ණය යෝජනා ක්‍රමයක්‌ ගෙනාව.

උසස්‌ පෙළ සිසුන්ට හා උසස්‌ පෙළ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමට පියවර ගත්තා. මේවාට දැන් අයිතිවාසිකම් කියන්න බොහෝ දෙනෙක්‌ ඉන්නව. හරියට අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියනව වගේ” යෑයිද රවි කරුණානායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

RSL

Related Posts