එක්සත් ජාතික පක්ෂයේ හිටපු උපනායක සහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ජනාධිපති බැඳුම්කර කොමිසමට හිතාමතා බොරු සාක්ෂි දීමෙන් නොනැවතී, ඊයේ (06) පාර්ලිමේන්තුවටද බොරු කී බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(07) මාධ්‍ය හමුවේ සාක්ෂි සහිතව හෙළිදරව් කර සිටියේය.
බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවේ කිසි තැනක තමාගේ නම නැතැයි මාධ්‍ය හමුවේ මුසා බස් කීමෙන් නොනැවතී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුව හමුවේද හැන්සාඩ් ගත වන බොරු කියා ඇත. බැඳුම්කර වාර්තාවේ රවි කරුණානායක මහතාගේ නම තැන් 91 කත්, රවි කරුණානායක සහ ඔහුගේ පවුලේ අයගේ නම් තැන් 184 කත් පැහැදිලිව සටහන්ව ඇතැයි අද පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම වාර්තාව උපුටාදක්වමින් පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙන්වා දුන්නේ, රවි කරුණානායක මහතා මෙම බැඳුම්කර වංචාවට අදාළව මලික් සමරවික්‍රම සහ කබීර් හසීම් යන ඇමතිවරුන්ගේ නම් අවභාවිතා කරමින් රුපියල් බිලියන 75 ක් ඉල්ලා දින රහිත ලිපි යොමු කොට ඇති බවත්, එය බැඳුම්කර කොමිසමේ විනිසුරුවරුන් ප්‍රශ්න කරද්දී “එම ලිපිය මගේ අතින් මඟ ඇරිලා” වැනි සාක්ෂි ලබා දී ඇති බවයි.
එසේම මෙම රුපියල් බිලියන 75ක මුදල ඉල්ලා ලිපිය යොමු කිරීමට ප්‍රථම මේ පිළිබඳව හිටපු මුදල් අමාත්‍යවරයා වූ රවි කරුණානායක මහතා, අනෙකුත් අමාත්‍යවරුන් වන කබීර් හසීම් සහ මලික් සමරවික්‍රම යන ඇමතිවරුන් සමඟ සාකච්ඡා කළ බව පැවසුවද ඔවුන් එසේ රවී කරුණානායක සමඟ සාකච්ඡාවකට එක් නොවූ බව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසා ඇත. ඒ තුළින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා “බැඳුම්කර ජනාධිපති කොමිසම” හමුවේ බොරු සාක්ෂි ලබාදී ඇති බව ඉතා පැහැදිලිව ඔප්පු වී ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා බැඳුම්කර වාර්තාව උපුටා දක්වමින් පෙන්වා දුන්නේය.