බැඳුම්කර මගඩියේදී ලංසු තබන්න රවී බලපෑම් කළා- බැංකු සභාපතිවරු කොමිසම හමුවේ කියති

Spread the love

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ගිය වසරේ (2016) මාර්තු මාසයේ අවස්‌ථා දෙකකදී භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි සඳහා අඩු පොලී අනුපාත (අඩු ඵලදා අනුපාත) යටතේ ලංසු තබන ලෙස රාජ්‍ය බැංකු වලට උපදෙස්‌ දුන් බවත් ඒ අනුව ලංසු තැබීමෙන් රටේ ප්‍රධාන බැංකු තුනටම ඉහළ ලාභ ලැබීමට තිබූ අවස්‌ථාව අහිමිවී අවාසිදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බවත් ඊයේ (04) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ දිවුරුම් පිට සාක්‍ෂි දෙමින් මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රටේ ප්‍රධාන රාජ්‍ය බැංකු තුනේ සභාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු හෙළිකර සිටියහ.

එසේ (හිටපු) මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ උපදෙස්‌ මත අඩු පොලී අනුපාතවලට ලංසු ඉදිරිපත් නොකළානම් රාජ්‍ය බැංකුවලට ඉහළ ලාභ ලැබීමට ඉඩලැබෙන බවද ඒ අවස්‌ථාව අහිමිවීමෙන් රාජ්‍ය බැංකු තුනටම ආවස්‌ථික අලාභ විඳීමට සිදුවූ බවද එම නිලධාරීහු කොමිසමට කියා සිටියහ.

මේ අනුව මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු, ලංකා බැංකුවේ සභාපති රෝලන්ඩ් පෙරේරා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අශ්වින්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු එම බැංකුවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඊයේ ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට පැමිණ හිටපු මුදල් ඇමැතිවරයා රාජ්‍ය බැංකු සඳහා උපදෙස්‌ දීමට කැඳවා තිබූ රැස්‌වීම ගැන සාක්‍ෂි ලබාදුන්හ.

කොමිසම හමුවේ සාක්‍ෂි දුන් රාජ්‍ය බැංකු තුනේම නිලධාරීන් කොමිසමට කීවේ අඩුපොලී අනුපාත යටතේ ලංසු තැබීමට මුදල් ඇමැතිවරයා දෙන ලද උපදෙස්‌ අනුව රාජ්‍ය බැංකු ක්‍රියාකළත් ඒ සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා රාජ්‍ය බැංකුවලට ලබාදුන් පොරොන්දු කඩකළ බවය.

කොමිසම හමුවේ ඊයේ (04 දා) සාක්‍ෂි දුන් මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා කීවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි සඳහා විශේෂිත පොලී අනුපාත (ඵලදා අනුපාත) ලබාදෙමින් ලංසු ඉදිරිපත් කරන ලෙස රටේ මුදල් ඇමැතිවරයකු විසින් උපදෙස්‌ දුන් ප්‍රථම අවස්‌ථාව මෙය බවයි.

2016 මාර්තු 28 සහ 2016 මාර්තු 30 යන දින දෙකේ මුදල් ඇමැතිවරයාගේ සභාපතිත්වයෙන් රාජ්‍ය බැංකු සඳහා කැඳවා තිබූ මේ රැස්‌වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්‌කරලිංගම් මහතා ද සහභාගිවී සිටි බව මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා කීවේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි සඳහා අඩු පොලී අනුපාත යටතේ ලංසු තබන ලෙස රාජ්‍ය බැංකුවලට උපදෙස්‌ දුන්නේ මුදල් ඇමැතිවරයා විසින්ම බවත් ඒ සඳහා ඔහු විසින් පොලී අනුපාත පරාසයක්‌ ලබාදුන් බවත් එම අනුපාත පැවැති පොලී අනුපාතවලට වඩා සාපේක්‍ෂව අඩු පොලී අනුපාත බවත් වසන්ත කුමාර් මහතා කීවේය.

ප්‍රධාන රාජ්‍ය බැංකු තුනේම සභාපතිවරුන් තිදෙනා සහ මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාට අමතරව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ භාණ්‌ඩාගාර අංශයේ උපදේශක සහ එම බැංකුවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු වන පී. ඒ. ලයනල්, ලංකා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (භාණ්‌ඩාගාර අංශය) ශාන්ත කුමාර වික්‍රමාරච්චි, ලංකා බැංකුවේ මහා කළමනාකාර ඩී. එම්. ගුණසේකර සහ ලංකා බැංකුවේ විශ්‍රාමික නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සරත්චන්ද්‍ර ජයසූරිය යන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය බැංකු නිලධාරීහු ද ඊයේ (04 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ දිවුරුම් පිට සාක්‍ෂි දෙමින් හිටපු මුදල් ඇමැතිවරයා විසින් රාජ්‍ය බැංකු සඳහා කැඳවා තිබූ රැස්‌වීම, එහිදී ඔහු විසින් ලබාදෙන ලද උපදෙස්‌ සහ එම රැස්‌වීමට සහභාගි වූ නිලධාරීන් පිළිබඳව කොමිසමට අනාවරණය කළහ.

මේ අනුව හිටපු මුදල් ඇමැති රවි කරුණානායක සහ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්‌කරලිංගම් යන මහත්වරුන්ට අමතරව 2016.03.28 දින රැස්‌වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වූ පී. සමරසිරි මහතා ද සහභාගි වී සිටි බව මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසමේදී අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය. මෙම රැස්‌වීමට පී. සමරසිරි මහතා පැමිණ සිටි බව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අශ්වින්ද සිල්වා මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තහවුරු කළේය.

මේ සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා ද එක්‌ව සිටි බව අශ්වින්ද සිල්වා මහතා කීවේය.

රටේ ප්‍රධාන රාජ්‍ය බැංකු තුනේ සභාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ජනාධිපති බැඳුම්කර කොමිසමට දිවුරුම් පිට සාක්‌ෂි දීමට අමතරව හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් කැඳවන ලද රැස්‌වීම සහ එහිදී ලබාදෙන ලද උපදෙස්‌ පිළිබඳව විස්‌තර සඳහන් කරමින් ඔවුහු කොමිසමට දිවුරුම් ප්‍රකාශ ද ලබාදුන්හ.

එම දිවුරුම් ප්‍රකාශ මගින් රාජ්‍ය බැංකුවලට හිටපු මුදල් ඇමැතිවරයාගේ උපදෙස්‌ මත කටයුතු කිරීමට සිදුවීම නිසා විඳින්නට සිදු වූ අවාසිදායක තත්ත්වය (ආවස්‌ථික අලාභය) ද ගණනය කර කොමිසමට ඉදිරිපත් කර තිබිණි.

රවි කරුණානායක මහතා වෙනුවෙන් මීට පෙර කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාට ඊයේ කොමිසමේ විභාග කෙරෙන සාක්‌ෂිකරුවන් ගැන දැනුම් දුන් බවද කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා කීවේය.

එහෙත් කරුණානායක මහතා වෙනුවෙන් ඊයේ (04 දා) කොමිසම හමුවේ නීතිඥයන් පෙනී නොසිටි බවද කොමිසමේදී ප්‍රකාශ විය.

-දිවයින-

RSL

Related Posts