කාටත් හොරා නීති විරෝධී කොටස් වෙළෙදාමේ යෙදුණු රනිල්ගේ මන්ත්‍රීධූරයට එරෙහි පෙත්සම් විභාගය තවත් කල් ඇඳෙයි

Spread the love


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඔහු හිමිකාරිත්වය ගැන සමාගමක් රජයේ ආයතන සමඟ ගිවිසුම් ගත වී ව්‍යාපාරික කටයුතුවල නිරතවීම මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු කමක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක් වන හෙයින් Lake house printers and publishers සමාගමේ කොටස් හිමියෙක් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය මැයි මස 21 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග කරනු ලැබීය.

පෙත්සම ඉකුත් දා කැඳවූ අවස්ථාවේදී පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ලංකා බැංකුව හා මහජන බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස දන්වා මූලික විරෝධතාවක් මතු කරනු ලැබීය.

මෙම නඩුව ගොනු කිරීමේදී පෙත්සම්කාර පාර්ශව විසින් ඉදිරිපත් කර ඇති ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් කර නොමැති හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණ රීති අංක 3 ට අනුව මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව ඔවුන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.

එම මූලික විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මෙම නඩුවට අදාළව ඉදිරිපත් කරන ලේඛනවලින් බොහොමයක් ප්‍රසිද්ධ ලේඛන බව කියා සිටියේය.

එබැවින් ඒවායේ මුල් පිටපත් සහතික කළ පිටපත් නඩු විභාගය සදහා ඉදිරිපත් කිරීම අනවශ්‍ය බව නීතිඥ තර්ක කර සිටියේය.

මෙම නඩුවේ පාර්ශවකරුවෙකු ලෙස නීතිපතිවරයා නම් නොකිරීම දෝෂයක් ලෙස වගඋත්තරකාර පාර්ශවයේ විරෝධතා වලින් පෙන්වා දුන්න ද නීතිපතිවරයා එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කිරීම අනවශ්‍ය බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නෙය.

මේ හේතුවෙන් වගඋත්තරකාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට පෙත්සම විභාගයට සඳහා නියම කරන මෙන්ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය මැයි මස 21 දා ප්‍රකාශ කළ බව නිවේදනය කළා .

මෙම නඩුවට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා අප්‍රේල් මස පළවනදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය පාර්ශවකරුවන්ට දැනුම් දුන්නේය.

කොළඹ නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවල මහත්මිය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණී.

පෙත්සම්කාරිය කියා සිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා lake house printers and publishers සමාගමේ කොටස් හිමියෙක් වශයෙන් කටයුතු කරන බවයි.

ඒ බව එම සමාගම විසින් නිකුත් කරනු ලැබූ 2014 සහ 2018 වසරවලට අදාල වාර්ෂික වාර්තා වල සඳහන් වන බව පෙන්වාදෙන පෙත්සම්කාරිය රනිල් වික්‍රමසිංහ මහතා කොටස් කාරීත්වය දරන අදාළ සමාගම මහජන බැංකුව හා ලංකා බැංකුව සමඟ ගිවිසුම්ගත වී එම බැංකුවකවලට අදාල චෙක්පත් ඇතුළු ලේඛන මුද්‍රණය කිරීමේ ව්‍යාපාරයේ නිරත වන බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඔහු හිමිකාරිත්වය ගැන සමාගමක් රජයේ ආයතන සමඟ ගිවිසුම් ගත වී ව්‍යාපාරික කටයුතුවල නිරතවීම මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු කමක් යැයි පෙත්සම්කාරිය පෙන්වා දෙයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසු අයෙකු බැවින් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ කෝ වොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය භාවිත කිරීම වැළැක්වීමෙන් අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඇය අභියාචනාධිකරණය වැඩිදුරටත් ඉල්ලා තිබේ.

RSL

Related Posts