මතු පරපුරට ණය බරින් තොර හොඳ ආදායමක් උරුම කර දෙනවා – අගමැති රනිල්

Spread the love

මෙරට ඉදිරි පරම්පරාව ණය බරෙන් තොර හොඳ ආදායමක් ලබන පරපුරක් බවට පත්කිරීම තමාගේ ඉලක්කය වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නීතිය සාමයට ගරු කරන ආර්ථිකය ශක්තිමත් අනාගතයක් මෙරට තරුණ පරපුර වෙත ළඟා කරදීම තමාගේ එකම බලාපොරොත්තුව වන බවද අගමැතිවරයා සඳහන් කරයි.

අගමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (5දා) කොළඹ 8, ඇල්විටිගල මාවත, අංක 80 ඒ දරන ස්ථානයෙහි අභිනවයෙන් ඉදිකරනු ලැබූ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම ගොඩනැඟිල්ල මහල් 12කින් සමන්විත අංගසම්පූර්ණ පහසුකම් සහිතව ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව ඉදිකරන ලද්දකි. මෙමඟින් මෙරට බැංකු ක්ෂේත්‍රයට අදාළ විභාග, උපාධි පාඨමාලාවන් පවත්වනු ලැබේ.

මෙහිදී අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“ලබන තෙවසර තුළ අපනයන ආදායමට බරවූ ශීඝ්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයක් සහ රැකියා බිහිකරන ආදායම් මාර්ග වැඩි කරන සාමාන්‍ය ජනතාවට දැනෙන සංවර්ධනයක් ඇතිකිරීමට බලාපොරොත්තු වෙනවා. 1977 නොවැම්බර් මස අප විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වා දුන්නා. ඒ නිසා නිෂ්පාදන භාණ්ඩ අපනයන, වෙළෙඳ කටයුතු වැඩි වුණා. අපෙන් පසුව චීනය, ඉන්දියාව, වියට්නාමය වැනි රටවල්ද එය අනුගමනය කළා. යුද්ධය නිසා අපේ සංවර්ධන වේගය අඩුවුණා. අප හා සමානව හිටලු තායිලන්තය මැලේසියාව, ඉන්දුනීසියාව පිටුපස හිටපු චීනය, ඉන්දියාව, වියට්නාමය අපව පසුකරගෙන ගියා. දැන් අපට පිටුපසින් සිටින්නේ ලාඕසය, ඇෆ්ගනිස්තානය වැනි රටවල් පමණයි.

අපනයන ආර්ථිකයේ වේගය අඩු වුණාට පසුගිය දශකය තුළ අපනයන ආර්ථිකයේ විපර්යාසයන් ඇති වුණා. රටේ වර්ධනය ඇතිවුණේ වෙළෙඳ නොවන කටයුතුවලිනුයි. වෙළෙඳ නොවන කටයුතුවලට වැඩි නැඹුරුවක් දැක්වීම තුළින් අපේ ආර්ථික දියුණුව වැඩි වුණා. මේ කාලයේ ආර්ථිකයේ අපනයන නිෂ්පාදනයටත් ඊට සම්බන්ධ ආයෝජනකරුවන්ටත් අහිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණා. ජී.එස්.පී. ප්ලස්වලින් ලැබෙන්න තිබුණු වාසිය අපි ප්‍රතික්ෂේප කළා. බංග්ලාදේශයට එහි නියම ප්‍රයෝජනය ගන්න පුළුවන් වුණා. අපනයනය අඩු වීමට තවත් හේතුවක් වුණේ සංවර්ධනය සඳහා යටිතල පහසුකම් ඇති කිරීමට රජය කටයුතු කිරීමයි. මේ සඳහා තමන්ට ආදායමක් නොතිබූ බැවින් ණය මුදල් ගත්තා. ලංකා වෙළෙඳ පොළෙන් පමණක් නෙවෙයි පළමුවැනි වතාවට විශාල ලෙස විදේශ වෙළෙඳපොළෙන්ද ණය ගත්තා. ඒ කාලේ ඇමෙරිකාවේ යුරෝපයේ තිබූ ආර්ථික අර්බුදය හේතුවෙන් මුදල් ලංකාවට ආවා. නමුත් කෙටි කාලයකට පමණයි එහෙම වුණේ. ඒ මුදල් ආපසු ඒ රටවලට ගියා. අපි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යොමු වුණා. උදාහරණයක් ලෙස හම්බන්තොට, සූරියවැව ක්‍රීඩාංගණය, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව පෙන්වා දෙන්න පුළුවන්. මේ ආයතනවල ක්‍රිකට් ගහන්න පුළුවන් නම් අපට සූරියවැව ක්‍රීඩාංගණය දෙන්න පුළුවන්.

මේ සියල්ලටම ණය ගත්තා. අවසානයේදී මේ රටේ තරුණ තරුණියන්ට රැකියා නැතුව ගියා. සමහරු මැදපෙරදිග ගියා. තරුණ පිරිස් ත්‍රීවීල් පදවන්න පටන් ගත්තා. කර්මාන්ත ශාලාවලින් මේ ආදායම ලබාගන්න බැරි නිසා මේ ආදායම මට හොඳයි කියලා බොහෝ අය මට ‍ෙදාස් කිව්වා. අන්තිමට ණය නෙවෙයි කුලිය ගෙවා ගන්නවත් බැරි තත්ත්වයකට ආවා. මේ නිසා 2015 වනවිට විශාල ආර්ථික අර්බුදයකට යනවා කියලා බොහෝ දෙනා ප්‍රකාශ කළා. භාණ්ඩාගාරයේ මහ බැංකු වාර්තාවලින් එය ඔප්පු වුණා. හැබැයි එහෙම අර්බුදයක් ඒමට පෙර වේලාසනින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කළා. සමහර රටවල ආර්ථික අර්බුදයක් එනවා නම් ඊට පෙර මැතිවරණ පවත්වනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අපට මේ රට භාරගන්න සිදු වුණේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ප්‍රමුඛ අපේ ආණ්ඩුවට භාරගන්න වුණේ එහෙම ආර්ථිකයක් තිබූ රටක්.

දැන් මහ බැංකුවෙන් කෙටි හා මධ්‍යකාලීන ණය පාලන උපක්‍රමයක් ඉදිරිපත් කර තිබෙනවා. සංශෝධනය වෙමින් තිබෙනවා. 2019 සිට 2022 දක්වා එක් වසරකට අඩු වශයෙන් බිලියනයක් පමණ මුදලක් ගෙවීමට සිදුවෙනවා. මේ සඳහා මුදල් හොයාගත යුතුයි වගේම අපේ අයවැය තදින් පාලනය කළ යුතු වෙනවා. අපට සතියක් තුළ විශාල ණයක් ගෙවන්න වෙලා තියෙනවා. ඒ නිසා අලුත් වෙන්දේසි ක්‍රමයක් සැලැස්මක් අනුව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා. මහ බැංකුව හා භාණ්ඩාගාරය ඒ පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් සිටිනවා. මේ වෙන්දේසි ක්‍රමය හා ණය ගෙවන්න වෙනම නඩත්තු කාර්යාලයක් ඇති කිරීමට පියවර ගන්නවා. එම ණය ගෙවන කාර්යාලය භාණ්ඩාගාරය හා සම්බන්ධ කරනවා.

භාණ්ඩාගාරයෙන් මුදල් ණයට ගත් නිසා ගෙවන යාන්ත්‍රණයක් ඔවුන් සමඟ තියාගත යුතු බැවින් මේ තීරණය ගත්තා. අපට ලැබුණු අත්දැකීමක් තමයි භාණ්ඩාගාරයේ ණය තමයි මහ බැංකුව යෙදෙව්වේ. මේ නිසා මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි වෙන් කරලා තියන්න බෑ. ඊළගට අපි උද්ධමනය අඩු කිරීමට පියවර ගන්නවා. මේ වසරේ අපි 6%ක උද්ධමන වේගයක් බලාපොරොත්තු වුණා. එහෙත් නියඟය නිසා ගංවතුර නිසා ඒක අඩු වුණා. වැට් වැඩි කිරීම, භාණ්ඩ හිඟය ආදිය පාලනය කරමින් තමයි ඉදිරියට යන්න වෙන්නේ.

අපේ ව්‍යාපාර සියල්ලම දේශීය, විදේශීය වෙළෙඳපොළවල් නියෝජනය කළත් සියල්ලම ජාත්‍යන්තර වශයෙන් තරගකාරී විය යුතුයි. මට අවශ්‍ය මේ රටේ දරුවන්ට ණය බරෙන් තොර හොඳ ආදායමක් ලැබෙන නීතිය සාමය ගරු කරන රටක් ඇති කිරීමටයි. ඉදිරියේදී මේ සඳහා විශාල වැඩකොටසක් කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සභාපති පී. සමරසිරි, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුළුව බැංකු ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීහු රැසක් සහභාගි වූහ.

RSL

Related Posts