එජාපය මරණ දඬුවමට එරෙහි වෙයි
- RSL
- July 2, 2019
- උණුසුම් පුවත්, දේශපාලන
- 0 Comments
පරපණ නැසීම එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහාය දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පෙරේදා (30) පැවසීය.
පසුගිය ජනාධිපතිවරණ ජයග‍්‍රහණයට උරදුන් විශාලතම පක්ෂය හා ආණ්ඩුවේ ප‍්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයත්, මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ විපක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ එක්සත් සන්ධානයත් මරණ දඬුවම යළි ක‍්‍රියාත්මක කරළීමට එකඟ නැති බව ද වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
එහෙයින් මෙම ගැටලූ පිළිබඳව මුලින්ම අමාත්‍ය මණ්ඩලය සමගත්, අනතුරුව ජනාධිපතිතුමා සහ කථානායකතුමා සමගත් සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වන බවද අගමැතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ මොනරාගල දිස්ත‍්‍රික්කයේ මාරිඅරාව ජල යෝජනා ක‍්‍රමය විවෘත කිරීමෙන් අනතුරුව මාරිඅරාව සතිපොළ භූමියේ පැවැති ජනහමුව අමතමිනි.
මාරිඅරාව ජල යෝජනා ක‍්‍රමය විවෘත කිරීමට අමතරව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ මොනරාගල ඔබ්බේගොඩ ප‍්‍රාථමික විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම, දැලිව මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම, කතරගම වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම, තණමල්විල යොවුන් සේනාංක මධ්‍යස්ථානය විවෘත කිරීම, තණමල්විල ජාතික පාසලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සිදු කෙරුණු අතර, හෙතෙම දැලිව කොස්ගස් අරාව වැවේ සංචාරය කරමින් එහි ප‍්‍රතිසංස්කරණ කටයුතු ද නිරීක්ෂණය කළේය.
මාරිඅරාව ජල යෝජනා ක‍්‍රමය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ වික‍්‍රමසිංහ මහතා 2016 වසරේ එක්සත් ජාතීන් විසින් ඉදිරිපත් කළ මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම වැළැක්වීමේ යෝජනාවට ශ‍්‍රී ලංකාව සහාය ලබාදුන් බවද ඒ අවස්ථාවේදී මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වශයෙන් ද, තමා අගමැති වශයෙන් ද තනතුරු දැරූ බව කීය.
2018 වසරේ දෙසැම්බර් 17 වැනිදා එක්සත් ජාතීන් එම යෝජනාව යළි සමාලෝචනයට භාජනය කළ අවස්ථාවේ ශ‍්‍රී ලංකාව ඊට සහාය දුන් අතර” එවිට මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරද, මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරද දැරූ බව වික‍්‍රමසිංහ මහතා සිහිපත් කළේය.
මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුලින්ම තීරණය කළ බවත්, ඉන්පසු ආර්. පේ‍්‍රමදාස, ඞී. බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් ඒ තීරණය ඉදිරියට ගෙන ගිය බවත් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

