බොරු මාධ්‍ය සංදර්ශන දැම්මට ඩීල් දමමින් රාජපක්ෂවරු රකින්නේ මෛත්‍රී සහ සහෝදරයින් සහ රනිල් – දූෂණ විරෝධී හඬ

Spread the love

ජනතාව ඉදිරියේ බොරු මාධ්‍ය සංදර්ශන දමමින් රාජපක්ෂවරුන්ගේ හොරකම්, වංචා දූෂණ ගැන කෑ ගැසුවද ඇමරිකාවට පැන ගිය බැසිල්ව පවා ලංකාවට ගෙන්න ගෙන රාජපක්ෂවරු සමඟ ඩීල් දමන්නේ මෛත්‍රී සහ ඔහුගේ සහෝදරයින් සහ රනිල් බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා හෙම්මාතගමදී පැවති ජනහමුවක් අමතමිනි.

එදා ඡන්ද ප්‍රතිඵලයත් එක්ක බැසිල් බය වෙලා රට පැන්නා. ඇමෙරිකන් ගුවන් තොටුපොළේදී තමයි කොල්ලකුට අසු වෙලා ෆොටෝ එකක් ගහලා තිබුණේ. නෝනා බෑග් එකකුත් ඇදගෙන දෙන්නා ගුවන් යානයෙන් බැහැලා යනවා. ගහන විසිල්වල හැටියට බල්ටි කොහොමද කියලා හිතාගන්න බැරි වුණා. බැසිල් හිතුවා ඉන්න වෙන්නේම හිරේ කියලා. ඒ නිසා නෝනාත් අරන් සුරුස් කියලා පැන්නා.

ඒත් මිනිහා බැලුවා දින 100කුත් ගියා. තව 50කුත් ගියා. අල්ලන හොරකමකුත් නැහැ. හිරේ දාන එකෙකුත් නැහැ. මහ බැංකුවටත් මේ අයම වැඩේ දුන්නා. බැසිල්ලාත් එක්ක හිටපු එවුනුත් ඒ පැත්තෙන් මේ පැත්තට පනිමින් ඉන්නවා. ඒ නිසා අවුලක් නැහැ කියලා ආයෙ ලංකාවට ආවා. සැකයට ගුවන්තොටුපොළට කට්ටිය ගෙන්වා ගත්තා. ඒ ඇවිත් ඩීල් එකක් දැම්මා මෛත්‍රිගේ සහෝදරයන් එක්කයි. රනිල්ලාත් එක්කයි. නඩුව අවුරුද්දෙන් අවුරුද්ද කල් යනවා. මේ ආණ්ඩුවට වසර 3යි. බැසිල්ගේ මල්වානේ ඉඩමේ නඩුව ගිය ආගෝස්තු මාසයේ තිබුණා. මේ සැප්තැම්බර්වලට කල් ගියා. එහෙම කල් යන නඩු වාර දෙකකින් ආණ්ඩුව ඉවරයි. මේවා සියලු දේවල් පිටුපස්සේ එක ජාලයක් තමයි ක්‍රියාත්මක වන්නේ.

ගෙවී ගිය අවුරුදු 70ට තට්ටු මාරු ක්‍රමයට එහාට මෙහාට පනිමින් ජනතාවට බොරු කළා. ජනතාව රැවැට්ටුවා. මෛත්‍රිපාල මහත්තයා මීට මාසයකට විතර කලින් කීවා ආර්ථිකය හසුරුවන යාන්ත්‍රණය මං අතට ගන්නවා කියලා. දැන් එල්ලුම් ගහ බදා ගෙන ඉන්නේ හිරේ ඉඳන් කුඩු විකුණන අයට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා කියමින්. ඔහොම ගිහින් මිනිහා එල්ලෙයිද දන්නේ නැහැ, මමවත් එල්ලිලා බලන්නම් කියලා. මේ කෙරෙන වැඩ නෙවෙයි.

ජනාධිපතිතුමා කීවා මන්ත්‍රිවරුන්ගේ පඩි වැඩි කරන්නේ නැහැ කියලා. රටේ පනතක් සම්මත කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් හා ඇමැතිවරුන්ගේ වැටුප් විනිශ්චයකාරවරුන්ගේ වැටුප් එක්ක සංසන්දනය කරලා ඒ අයට ටිකක් උඩින් තියලා තියෙන්නේ. විනිශ්චයකාරවරුන්ගේ වැටුප වැඩි නොකර දීමනා දෙන්න තිබුණා. හැබැයි පඩියම වැඩි කළේ මෛත්‍රිපාල මහත්තයා දැනගෙන තමයි. දැන් තොත්ත බාබාල වෙන්න හදනවා.

අපේ රටේ මාළු මිලත් එක්ක බැලුවොත් ලෝකයේ මුහුදු නැති රටවල මාළු මිල ලංකාවට වඩා අඩුයි. 2016 වසරේ අපේ රටට කරවලයි මාළුයි ගෙනත් තියෙනවා කෝටි 3160ක. එතකොට මාලදිවයිනේ අපේ රටට උම්බලකඩ කරවල එවනවා. චීනයේ එක පැත්තක මුහුද තියෙන්නේ චීනයෙන් මුහුදු මාළු අපේ රටට එවනවා. චිලී රටේ එක පැත්තක මුහුද තියෙන්නේ මුහුදු මාළු අපේ රටට එවනවා. රට හදනවා නම් මාළු ටික ඇල්ලුවත් රට යම් තරමකින් හරි ගොඩගන්න පුළුවන්. එහෙම ඉලක්කයක් නැහැ. කෘෂිකර්මය ගත්තොත් ඒ ගැනත් ඔය ටික තමයි කියන්න තියෙන්නේ.

රජයේ නාළිකා දෙක හැම විටම පෙන්වන්න උත්සාහ කරන්නේ ආණ්ඩුවට අදාළ පුවත් හා මහින්ද විරෝධී පුවත් පමණයි. පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ඒ අයගේ දේශපාලන ගමනට ගෝචර ලෙසයි කටයුතු කරන්නේ. සමහර මාධ්‍ය ආයතනවලින් පැය එකහමාරේ කතාවෙන් තමන්ට වුවමනාම කෑල්ල තප්පර 10ට කපලා ගන්නවා. ඔය විදියට තමයි අපේ රටේ මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මාධ්‍ය මඟින් සියලු තොරතුරු ජනතාවට නිවැරැදිව ලැබෙනවා කියලා හිතන්න අමාරුයි.

අද සමාජයේ දුරාචාරය, මත්පැන්, මත්කුඩු, ගණිකා ජාවාරම් ආදිය ඉහළ ගිහින්. පාසල් ගිය, පන්ති ගිය, දරුවන් යළි නිවෙසට පැමිණෙන තෙක් මවුපියන් ඉන්නේ බඩේ ගින්දරින්. ළමයි කොයි විදියට විනාශ වෙලා එයිද කියලා සැකයක් මවුපියන් තුළ තියෙනවා. ඒ විදිහෙ විනාශයකට මේ සමාජය වට පිටාව ඇද දමලයි තියෙන්නේ. වෙනත් රටවල මිනිස්සු දින 365ම වැඩ කරන්නේ නැහැ. නිවාඩු තියෙනවා. වෙනත් රටවල ඇවිදින්න ගිහින් විනෝද වෙනවා. නමුත් අපේ රටවල මිනිස්සු හැමදාම වැඩ කරනවා.නිදහසක් නැහැ. නිදහස ගන්නේ දේශපාලනඥයන් හා ඔවුන්ගෙන් උදවු ඇති අය පමණයි. අපි අවුරුදු 70ක් තිස්සේ තට්ටු මාරු ක්‍රමයට මේ පක්ෂ දෙක බලයට පත් කරලා රට විනාශ කරන්න ඉඩ දීලා බලා හිටියා. එහෙම නම් දැන් හොඳින් සිතිය යුතු කාලය උදා වෙලා තියෙනවා.