මං වෙනුවෙන් වර්ජන එපා! – මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඉල්ලයි (Video)

Spread the love

තමා වෙනුවෙන් වර්ජන සිදු නොකරන ලෙස තමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් අද(09) පෙරවරුවේ සන්දේශයක් බාරදීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සන්දේශය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෙත භාරදුනි.

ඒ අවස්ථාවේ ඒ මහතා කියා සිටියේ තමා වෛද්‍ය වර්ජනයන්ට අකමැති බවත්, වසර 5ක් වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ බවත්, තවත් මාස හයක කාලයක් කල් ලබාගෙන එම තනතුරේ සිටි බවත්, තවදුරටත් එහි රැඳී සිටීමට සළකා බලන බවත්ය.
එමෙන්ම තමාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකීමේ දී ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය දැරීම තවදුරටත් අපහසු බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියා සිටියේය.

මෙහිදී සිය දෑත් එකට එකතු කර වැඳ ඔහු බැගෑපත්ව සඳහන් කළේ “අනේ මම නිසා නම් කිසිලෙසකින්වත් වැඩවර්ජනයක් කරන්න එපා.” යනුවෙනි.

තමාගේ දායකත්වය නොමැතිව වුවද තවදුරටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහය පළ කරන බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මෙහිදී ප‍්‍රකාශ කළේය.

එමෙන්ම වෛද්‍යවරයෙකු බිහි කිරීමට අදාළ නියමිත ප‍්‍රමිතිය කිසි ලෙසකින් හෝ ලිහිල් නොකළ යුතු බවත් සයිටම් ආයතනයේ ප‍්‍රමිතිය ද පිළිගත නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.

එහි ප‍්‍රමිතිය සකස් කළ නොහැකි බවත්, සයිටම් ආයතනය වහා අහෝසි කළ යුතු බවත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම නිසි ප්‍රමිතියකින් යුතු වෛද්‍යවිද්‍යාල ඉදි කළ යුතු බව කී ඒ මහතා කියා සිටියේ සයිටම් ආයතනය අහොසි කළ යුතු බවයි.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් පසුගිය 21 වනදා පා ගමනකින් පැමිණි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙනි.

[youtube 71ZzImErxV8]

RSL

Related Posts