මල්වතු නාහිමයන්ගේ නම යොදාගනිමින් නව ව්‍යවස්ථාවට සංවිධානාත්මක මඩ ප්‍රහාරයක්- අගමැති

Spread the love

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ට තමන් වහන්සේ විරුද්ධ වූ බවට පළ වූ මාධ්‍ය ප්‍රවෘත්ති මල්වතු මහ නාහිමියන් ප්‍රතික්ෂේප කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19 දා) පැවැසීය. ඇතැම් පෞද්ගලික ‍පුවත්පත් සහ රූපවාහිනි නාලිකා ජනතාව නොමඟ යවමින් තමන් වහන්සේ නව ව්‍යවස්ථාවට විරුද්ධ බවට ප්‍රවෘත්ති පළ කර ඇතැයි මල්වතු පාර්ශ්ව මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් තමන්ට පැවැසූ බව ද අගමැතිවරයා කියා සිටියේය.

ලංකාදීප, දිවයින සහ ඩේලිමිරර් පුවත්පත්වල පළ වූ ප්‍රවෘත්ති දැකීමෙන් පසු අගමැති වික්‍රමසිංහ මහතා ද මල්වතු මහ නාහිමියන් සම්බන්ධකරගත් අවස්ථාවේ දී ව්‍යවස්ථාවට තමා විරුද්ධ වන බවට කිසිම ප්‍රකාශයක් නොකළ බව උන්වහන්සේ තහවුරු කළ බව ද අගමැතිවරයා පැවැසීය. ප්‍රකාශයක් කරනවා තබා උන්වහන්සේ ශ්‍රී ලංකාවේ නොසිටි බව ද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (19) දා අගමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු මහ නාහිමියන්ගේ මතය පැහැදිලිව ප්‍රකාශ කර තිබූ බව ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ අදහස් පිළිගන්නා බව උන්වහන්සේ ප්‍රකාශ කළ බව ද අගමැතිවරයා කීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා ජනතාව වරමක් ලබා දී තිබිය දී මාධ්‍ය මඟින් ජනතාව නොමඟ යවමින් සිදු කරන මාධ්‍ය සෙල්ලම නතර කරන්නැයි ඉල්ලා සිටින බව ද අගමැති වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ඇතුළු ආයතන තුනක් කළ සමීක්ෂණයේ වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් පාර්ලිම්න්තු සංකීර්ණයේ දී අගමැතිවරයා මේ බව ඊයේ (19) ප්‍රකාශ කළේය.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් ජනතා අදහස් ලබා ගනිමින් සිටිනවා

අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසුවේය. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් අප මේ වන විට ජනතා අදහස් ලබා ගනිමින් සිටිනවා. ව්‍යවස්ථාව සැකසීමේ කටයුතු ඉදිරියට සිදුකර ගෙන යාම පිළිබඳ අප එළඹෙන සතියේ දී විවාදයක් පැවැත්වීමට සූදානම්. එම විවාදයෙන් පසුව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජනතාවගෙන් අදහස් විමසන අවස්ථාවේ දී ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් ඇතුළත් අද මේ ලබාදුන් වාර්තාවත් අපි ප්‍රයෝජනයට ගන්නවා. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මෙවැනි වාර්තාවක් මට ලබාදීම පිළිබඳ ඔබට ස්තුතිවන්ත වනවා.යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතැමුන් ජනතාව නොමඟ යවමින් සිටින බව මේ පිළිබඳ හැඳින්වීමක් කරමින් ඔබලා චෝදනා කළා. එසේ නම් ජනතාව නොමඟ යවන්නේ කවුරුන්ද? මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු මහනාහිමියන් ප්‍රකාශයක් කළා යැයි සඳහන් කරමින් එම නාහිමියන්ගේ ඡායාරූපය සහිතව සියලුම පුවත්පත් සහ අනෙකුත් මාධ්‍යවල ප්‍රවෘත්ති පළ කර තිබෙන බව මම අද දුටුවා. නමුත් ඒ පිළිබඳ විමසීමට මම මල්වතු මහනාහිමියන් සම්බන්ධ කර ගත් අවස්ථාවේ එවැනි ප්‍රකාශයක් කිරීමට තබා තමන් වහන්සේ මේ දිනවල දිවයිනේවත් නොමැති බව නාහිමියන් වහන්සේ මා සමඟ පවසා සිටියා. එසේ නම් එවැනි ප්‍රවෘත්තියක් හෝ ඡායාරූපයක් මාධ්‍යයේ පළ වන්නේ කෙසේද?

එය මාධ්‍ය මඟින් ජනතාව නොමඟ යැවීමක් නොවේද? මීට පෙර අවස්ථාවක ද මල්වතු මහනාහිමියන් වහන්සේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උන්වහන්සේගේ මතය ඉතා හොඳින් හෙළි කර තිබුණා. ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතා හමු වු අවස්ථාවේ දී තවමත් ව්‍යවස්ථාවක් නිර්මාණය කර නොමැති බවත් එය පවතින්නේ සාකච්ඡා මට්ටමේ බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යවරයා වන මමත් පවසන අදහස් පිළිගන්නා බව ද මහ නාහිමියන් එහි දී පවසා තිබුණා.

රට පාලනය කරන නායකයින් දෙදෙනා සහතිකයක් දී ඇති අවස්ථාවේ දී එහි වලංගුභාවය පිළිබඳ ප්‍රශ්න කිරීමේ තේරුමක් නැතැයි මල්වත්ත නාහිමියෝ දිනේෂ් ගුණවර්ධන මහතාට පැවසුවා. නව ව්‍යවස්ථාව තවමත් පවතින්නේ සාකච්ජා මට්ටමේ බවත් කෙටුම්පත් කිරීමට ඇති බවත් රටේ සාමය සහ ස්ථාවර භාවය සඳහා මෙම ක්‍රියාවළියට එක් වන ලෙස ඒකාබද්ධ විපක්ෂයට මහ නායක හිමියන් බල කළේය.

ඩේලි මිරර්, ලංකාදීප සහ දිවයින පුවත් පත් ඊයේ පුවත්පත්වල පළමු පිටුවේ මල්වත්ත මහනාහිමියන්ගේ ඡායාරූපය ද සහිතව පළ කර තිබීමෙන් හැඟවෙන්නේ එම ප්‍රකාශය උන් වහන්සේගේන් ලබා ගත් බව ද අගමැති වික්‍රමසිංහ මහතා පැවැසීය.

විපක්ෂ මත සඳහා පුවත් පත්වල ඉඩ දීම සම්බන්ධයෙන් තමා විරුද්ධ නොවන බව සඳහන් කළ අගමැති වික්‍රමසිංහ මහතා කරුණු වැරදියට වාර්තා කර පාඨකයන් නොමඟ යැවීම මහජනතාවට කරන අසාධාරණයක් බව අගමැතිවරයා පැවැසීය.

මා 1973 දී පුවත් පත් කලාවේදියකු ලෙස ලේක්හවුස් ආයතනයෙන් පළපුරුද්ද ලබා ගත් අවස්ථාවේදී විරුද්ධ මත ඉදිරිපත් කිරීම ගැන පාඩම් ඉගෙන ගත්තා

තමා 1973 දී පුවත් පත් කලාවේදියකු ලෙස ලේක්හවුස් ආයතනයෙන් පළපුරුද්ද ලබා ගත් අවස්ථාවේදී විරුද්ධ මත ඉදිරිපත් කිරීම ගැන පාඩම් ඉගෙන ගත් බව කීය.

අද මෙම ප්‍රවෘත්තිය දැකීමෙන් පසු මම මහ නාහිමියන් සම්බන්ධ කර ගැනීමට කල්පනා කළා. සත්‍ය තත්ත්වය මට අවබෝධ වුණේ එවිටයි. එම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවූයේ මහනුවර දියවඩන නිලමේ නම් එම ප්‍රවෘත්තිය සමඟ පළ කළ යුත්තේ දියවඩන නිලමේගේ ඡායාරූපය මිස මල්වතු මහනාහිමියන්ගේ ඡායාරූපය නොවේ.

දියවඩන නිලමේ විසින් පැවැත්වු මාධ්‍ය හමුවක් සඳහා මල්වත්ත නාහිමියන් පැවැත්වු මාධ්‍ය හමුවක් ලෙස හැඟවෙන ලෙස වාර්තා පළ කළේ මන්දැයි ඩේලි මිරර්, ලංකාදිප, දිවයින පුවත් පත්ද හිරු සහ දෙරණ රූපවාහිනි නාලිකාවල කර්තෘවරුන්ගෙන් විමසන ලෙස එහි සිටි එම මාධ්‍ය ආයතනවල වාර්තාකරුවන්ගෙන් අගමැතිවරයා ඉල්ලා සිටියේය.

ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් දියඩවන නිලමේතුමාගෙන් විමසීමට මම බලාපොරොත්තු වෙනවා.

මල්වතු මහනාහිමියන් පක්ෂව හෝ විපක්ෂව අදහසක් පල කරනවා නම් එය ඔබේ මාධ්‍යයේ පළ කිරීමේ කිසිදු ගැටලුවක් නැහැ. නමුත් උන්වහන්සේ එවැනි ප්‍රකාශයක් නොකර රටේවත් නොමැති අවස්ථාවක මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කරන්නේ ඇයි දැයි මම මේ රටේ ජනමාධ්‍ය ආයතවලින් විමසීමට කැමතියි. මාධ්‍ය ආයතන කැඳවා ඒ ආයතනවල මාධ්‍යවේදීන් ඉදිරිපිට මේ පිළිබඳ විමසන විට ඒ වෙනුවෙන් ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද? කිසිවකටත් සෘජු පිළිතුරක් ලබාදුන්නේ නැහැ. ඔබට හැකි නම් මගේ මෙම ප්‍රශ්න කිරීම අද දහවල් වන විට ඔබේ මාධ්‍ය තුළ පළ කරන්න යැයි මම ඉල්ලා සිටිනවා.

මල්වතු මහ නාහිමියන් මේ මොහොතේ වැඩසිටින්නේ කොහේදැයි ඔබේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් විමසා දැනුම් දෙන්න. මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමෙන් රටට සිදු වන්නේ කුමක්ද? මේ සම්බන්ධයෙන් මගේ ප්‍රකාශය ඔබ පුවත්පත් ආයතන පළ කරන්නේ පළමු පිටුවේ ද? නැතිනම් අවසන් පිටුවේ ද? යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්වයන්ගේ අදහස් ඔබ ප්‍රචාරය කරනවා නම් රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඒ සම්බන්ධයෙන් වන මගේ අදහසටත් ඔබ මාධ්‍ය මඟින් ඉඩ ලබාදිය යුතුයි. මල්වතු මහනාහිමියන් රටේ වැඩ නොසිටින අවස්ථාවකත් ඔබ මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තියක් ප්‍රධාන පුවතක් ලෙස පළ කළා නම් රට තුළ සිටින මගේ අදහසත් ඔබ ආයතනය තුළ පළ කළ යුත්තේ ප්‍රධාන පුවතක් ලෙස නොවේ ද? මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී මා දැක්වූ අදහස් ගුවන්විදුලි සහ රූපවාහිනී නාළිකාවලත් විකෘති කිරීමකින් තොරව පළ කරන බවට ඔබට පොරොන්දු විය හැකිද?

ජනතාව අපට වරමක් ලබා දී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ මාධ්‍ය මඟින් ජනතාව නොමඟ යවමින් ඔබ සිදු කරන මාධ්‍ය සෙල්ලම කුමක්ද? ලංකාදීප, දිවයින, ඩේලි මිරර් ආදී පුවත්පත් මෙන්ම ඇතැම් විද්‍යුත් මාධ්‍යය ද ජනතා වරමට අනුව ක්‍රියා නොකරන ලෙස අපට බලකරනවාද? රාජපක්ෂ රෙජීමයට කාලයක් පුරා කඩේ ගිය මාධ්‍ය ආයතනවලින් මම ඉල්ලා සිටින්නේ මේ සෙල්ලම නතර කරන ලෙසයි. මෙවැනි අසත්‍ය ප්‍රචාරයක් පළ කළේ මන්දැයි මේ මොහොතේ ඔබ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් විමසා දැනුම් දෙන්නේ නම් ඊට මේ මොහොතේම පිළිතුරු ලබාදීමටත් මා සූදානම්. එවිට ඔබ මාධ්‍ය ආයතනවලට එයත් පළ කිරීමට හැකියාව තිබෙනවා.

RSL

Related Posts