2020 ජනපති සටනට අපේක්ෂකයින් 35ක් (වීඩියෝ)

Spread the love

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව වෙත අද සිය නාමයෝජනා පත්‍ර භාරදුන්නේය.

කෙසේවෙතත් ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඇප මුදල් තැන්පත් කර තිබූ  චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 06 දෙනෙකු අද නාමයෝජනා පත්‍ර භාරදුන්නේ නොමැත.

අපේක්ෂකයින් සම්බන්ධයෙන් විරෝධතා දෙකක් ඉදිරිපත්වූ නමුත් ඒවා ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

2019 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේ දිනය වූ අද රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය හා ඒ අවට පොලිස් විශේෂ කාර්ය බලකායේද මැදිහත්වීමෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණි.

මෙවර අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබූ අතර පිළිගත් දේශපාලන පක්ෂ‍19ක, ස්වාධීන කණ්ඩායම් 19 ක සහ වෙනත් දේශපාලන පක්ෂ 03ක අපේක්ෂකයින් ඒ අතරට අයත්ය.

එම අපේක්ෂකයින් නාමයෝජනා භාරදීම සඳහා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමට පෙර ඔවුන්ගේ නියෝජිතයින් සහ නීතිඥවරුන් එහි පැමිණ සිටියේය.

‍ෙඅපේක්ෂකයින් පැමිණීමෙන් පසු නාමයෝජනා භාර ගැනීම නිල වශයෙන් ආරම්භ කෙරුණේ පෙරවරු 9.00ට.

මාලිමාව ලකුණින් තරග වදින ජාතික ජනබල වේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරවරු 09.37ට සිය නාමයෝජනා පත්‍රය භාරදුන්නේය.

විදුලි බුබුළ ලකුණින් තරග වදින ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාද අද සිය නාමයෝජනා පත්‍ර භාරය දුන්නේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නාමයෝජනා පත්‍රය භාරදීමට පෙර කොළඹ අලුත්කඩේ පිහිටි දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට එක්වුණි.

හංසයා ලකුණින් තරග වදින සජිත් ප්‍රේමදාස මහතා නාමයෝජනා පත්‍රය භාරදීම සඳහා මැතිවරණ කොමිසම වෙත පැමිණියේ ඉන් අනතුරුවයි.

සජිත් ප්‍රේමදාස මහතා සිය නාමයෝජනා පත්‍රය භාරදුන්නේ පෙරවරු 10.04ටයි. 

පොහොට්ටුව ලකුණින් තරග වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ  මහතා සිය නාමයෝජනා පත්‍රය භාරදුන්නේ පෙරවරු 10.16ටයි.

නාමයෝජනා පත්‍ර භාර දුන් සෙසු අය අතර එකම කාන්තාව වන ආචාර්ය අජන්තා පෙරේරා,පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව,නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් .එල්.ඒ.එම්.හිස්බුල්ලා, උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි එම්.කේ.සිවාජිලිංගම් යන අපේක්ෂකයින් ද වෙයි.

කෙසේවෙතත් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම ඇතුළු අපේක්ෂකයින් 06 දෙනෙකු නාමයෝජනා පත්‍ර භාරදුන්නේ නොමැත.

අපේක්ෂකයින් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව දී තිබුණි.

එහිදී එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතාට එරෙහිව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් විරෝධතාවක් ගොනු කළේ හිස්බුල්ලා මහතා මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා රජය නොමග යවමින් ආධාර ලබා දුන් බවට චෝදනා කරමින්ය.

එම්.කේ.සිවාජිලිංගම් මහතාට එරෙහිව සරත් මනමේන්ද්‍ර මහතා විරෝධතාවක් ගොනු කළේ ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දුන් පළාත් සභා මන්ත්‍රීවරයෙකු වුවද එය උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා කරමින්ය.

මේ අතර ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වන බවට පූර්ව ප්‍රකාශයන් සිදු කළ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා තමාට ජනාධිපති ධුර අපේක්ෂක මහේෂ් සේනානායක මහතා හේතුවෙන් එම අවස්ථාව අහිමි වූ බවට චෝදනා කර සිටියේය.

ඇප තැන්පත් කළද නාමයෝජනා භාරනොදීම සම්බන්ධයෙන් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නීතිඥයෙකු මෙලෙස අදහස් පළකළේය.

මේ අතර නාමයෝජනා භාර දුන් අපේක්ෂකයින් මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

අනතුරුව අපේක්ෂකයින් සිය ආධාරකරුවන් සංවිධාන කර තිබූ ජනහමු සඳහාද සහභාගි වුණි.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද දින නාමයෝජනා භාරගැනීමේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා සහාය දුන් ආරක්ෂක අංශ නිලධාරීන්ට සිය ස්තුතිය පළ කළේය.

RSL

Related Posts