ශ්‍රීලනිපයට හෝ එජාපයට නොවේ මම ද්‍රෝහී වන්නේ දූෂණයට, වංචාවට සහ පවුල් වාදයටයි – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රත්නපුරයේදී කියයි

Spread the love

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයටවත් එක්‌සත් ජාතික පක්‍ෂයටවත් මම ද්‍රෝහීවී නැහැ. මම ද්‍රෝහිවන්නේ දැඩි ක්‍රියාමාර්ග ගන්නේ දූෂණයට, වංචාවට, හොරකමට හා පවුල් වාදයටයි. ඒ හැම කෙනෙකුටම ඉහළම දඬුවම් දෙන්න හිරේ දාන්නද අපායට යවන්නද ඕනම දෙයක්‌ කරනවා යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා එසේ පැවසුවේ ඉකුත් 27 වැනිදා රත්නපුර ප්‍රදේශයේදී පැවැති ජනහමුවකදීය. එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.

මම පොදු අපේක්‌ෂකයා විදියට ඡන්දයට ඉදිරිපත් වුණාට පසුව, කොළඹ විඡේරාමේ ගේ වටේට, තාක්‌ෂණික උපකරණ ගස්‌වල එල්ලුවා. මගේ ගේ ඉදිරියේ මහ පාරේ හැමවෙලේම බස්‌ එකක්‌ නතර කරලා තිබුණා. මම ගෙදර කතා කරන ඒවා එයාලා තාක්‌ෂණික උපකරණ මගින් පටිගත කළා. ඒ දේවල් තමයි එදා සිදුවුණේ. මේ රටේ ඒ තිබුණ තත්ත්වයන් සමඟ රට යහපත් කරන්න මම ලෝක නායකයන්ට පොරොන්දු වුණා. මේ රට හොඳ රටක්‌ විදියට හදනවා, අපට කරදර කරන්න එපා කියලා. මම කොමිෂන් සභා 09 ක්‌ අලුතෙන් පිහිටෙව්වා. ඒවා ඉස්‌සර තිබුණ නිකම් බෝඩ් කෑලි වගේ නෙමේ. මම ජනාධිපති වෙන්න කලින් මේ රටේ අග්‍රවිනිශ්චයකාරතුමා පත්කළේ, රටේ පොලිස්‌පති පත්කළේ, කොමිෂන් සභාවල සභාපතිලා පත්කළේ ජනාධිපතිගේ තනි මතයට. මම ඒවා ඔක්‌කොම ජනාධිපති බලතල එයින් අයින් කළා.

මම ජනාධිපති වෙලත් පාර්ලිමේන්තුවේ මගේ සහෝදර මැතිඇමැතිවරුන් පසුපස ගිහින්, පාර්ලිමේන්තු ලොබි එකේ තේ බොන තැන, කැන්ටිමේ, මැතිඇමැතිවරුන්ගේ ගෙවල්වල ගිහින්, මම කිව්වා 19 වැනි සංශෝධනයට අත උස්‌සන්න, විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලතල මගෙන් අයින් කරන්න ඡන්දය දෙන්න කියලා. 19 වැනි සංශෝධනයට කලින් මේ රටේ ජනාධිපති කියලා කියන්නේ ඇමරිකාවේ ජනාධිපතිට වඩා රට ඇතුළේ බලතල වැඩි කෙනෙක්‌. ඒක තමයි ඇත්ත තත්ත්වය. මා මිත්‍ර මහින්ද රාජපක්‍ෂ බලයට පත්කරන පළමු ජනාධිපති මැතිවරණයේදී මම තරම් කරගහපු කෙනෙක්‌ ඉන්නවාද කියලා මම අහනවා පක්‍ෂ මහලේකම්වරයා ලෙසින්. සමහර මැතිඇමැතිවරුන් දාලා ගියා ඔහු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දොරවල් වැහුණා. රහසක්‌ නොවේ හිටපු ජනාධිපතිතුමියත් සහයෝගය දුන්නේ නැහැ. පක්‍ෂයේ ලේකම් විදියට මැතිවරණය කරට ගත්තේ මං. එදා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මට කතා කළේ මල්ලි කියලා. එතුමා අගමැති වෙනකල් මම කතා කලෙත් අයියේ කියලා. අපි එකට යුද්දේ දිනන්න කටයුතු කළා. යුද ජයග්‍රහණය තනි පුද්ගලයකුගේ ජයක්‌ නොවේ. දුටුගැමුණු මහ රජුන් එළාර පරාජය කළේ දසමහා යෝධයෝ සමගින්. මහින්ද රාජපක්‍ෂ මහත්මයාට අපි වගේ දසමහ යෝධයෝ හිටියා යුද්ද කරන්න. මෛත්‍රීපාල සිරිසේනලා, ජෝන් සෙනවිරත්නලා, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්තලා, ඇතුළු සෙන්පතියෝ හිටියා. කර දුන්නා, උර දුන්නා. මට එල්.ටී.ටී.ඊ ත්‍රස්‌තවාදීන් 05 පාරක්‌ ගැහුවා. ඒ හැම පාරම ඔවුන් විනාශ වුණා. අහිංසක මිනිසුන් මැරුණා. සමහර ගහන්න ආපු එවුන් අත්අඩංගුවට ගත්තාම සයිනයිඩ් කාලා මැරුණා.

අපි එහෙම බොහොම ලස්‌සනට රට කළා. හොඳට ආණ්‌ඩු කළා. 2010 මහ මැතිවරණයෙන් පසුව, යුද ජයග්‍රහණයෙන් පසුව තිබුණ මැතිවරණයෙන් පසුව, අපි ටිකක්‌ ඈත් කරලා වටේ හිටපු බමුණොයි, කේවට්‌ටයොයි එතුමාව මහ රජාණෝ කළා. ඔහු බොහොම සුන්දර මිනිහෙක්‌ ඒ කාලේ ඔහු මහ රජා කළා. අපි ඈත් වුණා. රට වෙනත් පැත්තකට ගියා. යුද්ධයෙන් පසුවත් රටේ අතුරුදන් වීම්, මිනිමැරුම්, යුද්ධයෙන් පසුවත් රටේ ජාතිවාදී බෙදීම්, ගැටුම්, ඔබට මතක ඇති. මම ඒ සමාජය වෙනස්‌ කළා. මම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහතික කළා. අද මිනිස්‌ ඝාතන නැහැ, අද අතුරුදන්වීම් නැහැ, අද මාධ්‍ය ආයතන ගිනිගන්නේ නැහැ. අද මාධ්‍යවේදීන් රටහැර දාලා යන්නේ නැහැ. අද කොච්චර දේවල් නම් කියන්න තියෙනවාද? අද අපේ හමුදාව එක්‌සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට අරගෙන යනවා. ගහගන්න තැන්වලට කැඳවනවා සාමය ස්‌ථාපිත කරන්න. ඒ විදියට මේ රට වෙනස්‌ කළා.

නොයෙක්‌ අසත්‍ය චෝදනා අපට එල්ලකරනවා. අපට කියනවා රට විකුණනවා, රට බෙදනවා කියලා. මම මේ ජනාධිපතිධුරයේ ඉන්නකල් මේ රට බෙදන්න, කඩන්න, මොන යෝජනා ආවත් මම ඒවට ඉඩ දෙන්නේ නැහැ. මේ මගේ මාතෘභූමිය හා ජනතාව වෙනුවෙන් මම මගේ ජීවිතේ පූජා කරලා මේ රට ආරක්‌ෂා කරනවා කියන එක මම ඔබට ඉතාම පැහැදිළිවම කියන්නට ඕන.

කවුද රට වික්‌කේ? යුද්ධය දිනපු අපේ හමුදාවට කෝ අද මූලස්‌ථානයක්‌. ඔබ කොළඹ ගියාම ගෝල්ෆේස්‌ එක පැත්තේ ඇවිදිනවා. අද එතැන තිබෙන්නේ ශැංග්‍රීලා හෝටලය. එදා යුද හමුදා මූලස්‌ථානය එතැන තිබුණා. යුද හමුදා මූලස්‌ථානය විනාශ කළා. අපි නෙමේ කළේ. අපිට කලින් මේ වගකීමේ හිටපු අය කළේ. අක්‌කර 06 ක භූමියක්‌ සමග. අපේ හමුදාවට තිබුණ හමුදා මූලස්‌ථානය කඩලා දැන් පුද්ගලික ගොඩනැඟිලිවල තැන් තැන්වල මාසයකට කුලිය ගෙවනවා දසලක්‌ෂ හතළිස්‌ තුනක මුදලක්‌. අවුරුද්දකට මිලියන 500 යි. අද හමුදාපතිට ඉන්න තැනක්‌ නැහැ. හමුදා ප්‍රධානීන්ට ඉන්න තැනක්‌ නැහැ. අපිට හමුදා මූලස්‌ථානයක්‌ නැහැ. අක්‌කර 06 ක්‌ ශැංග්‍රීලා එකට දුන්නේ හමුදා මූලස්‌ථානය කුඩු කරලා. හමුදාව අහිකුන්ඨකයෝ වගේ තැන් තැන් වලට දාලා. ශ්‍රී ලංකා හමුදාව ගෞරවනීය හමුදාවක්‌. අක්‌කර 06ක්‌ සින්නක්‌කරව දුන්නේ මමද? පෝට්‌ සිටි කොළඹ වරාය නගරය, අක්‌කර 240 යි. ඒක චීන පෝට්‌ සිටි සමාගමට සින්නක්‌කරව දෙන්න කවුද ලිව්වේ කියලා මම අහනවා.

අපේ හාමුදුරුවනේ අපට මහා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්‌ තිබුණා. අපි කතාකරන්නේ පණ්‌ඩුකාභය රජු, දුටුගැමුණු රජු, විජයබාහු රජු, පරාක්‍රමබාහු රජු, 06 වන පැරකුම් මහ රජු තෙක්‌ අපි මහත් අභිමානයෙන් කතාකරනවා පෙර රජ දවස මේ රටේ ඉතිහාසයේ කිසිම රජෙක්‌, කිසිම නායකයෙක්‌, 505 සිට 948 තෙක්‌ මේ රට විදේශීය ආක්‍රමණිකයන්ට යටත්වෙලා හිටියත් කිසිම රජකෙනෙක්‌ මේ රටේ එක බිම් අඟලක්‌ සින්නක්‌කර දීලා නැහැ. භූමිය වෙනත් රටවල් වලට සින්නක්‌කරව දුන්නේ අපි නෙමෙයි එයාලයි. මම ජනාධිපති වුණාම පෝට්‌ සිටි ගිවිසුම දෙවැනි අත්සන සඳහා කැබිනට්‌ එකට ආවා. ජෝන් සෙනවිරත්න මැතිතුමා කැබිනට්‌ එකේ හිටියා. ඒ තිබුණ ගිවිසුම අපේ අනෙක්‌ හාදයෝ ඒ විදියටම අරගෙන ආවා. මම කිව්වා මම අත්සන් කරන්නේ නැහැ. මම කිව්වා රටේ බිම් අඟලක්‌ සින්නක්‌කරව දෙන්න ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියලා. මම කිව්වා ගිවිසුම වෙනස්‌ කරන්න කියලා. මම 2015 චීනයට ගිහින් ජනාධිපතිතුමාට කිව්වා මගේ රටේ මේ භූමිය සින්නක්‌කරව දෙන්න බැහැ අපි වෙනත් විදියකට මේක කරනවා නම් අපි කැමති කියලා. ඒ විදියට අපි ඒ ගිවිසුම වෙනස්‌ කළා.

අද මහ බැංකු බැඳුම්කර කොමිෂන් වාර්තාව ගැන වේදිකාවල්වල හැම කෙනෙක්‌ම කතා කරනවා. ජී.එල්. පීරිස්‌ගේ පක්‍ෂයේ කට්‌ටියත් උඩ පැන පැන කතා කරනවා. හැබැයි ඒ ගොල්ලෝ දන්නේ නැහැ මහ බැංකු බැඳුම්කර පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු අත්සන් කරපු වාර්තාවේ තියෙන්නේ මේ මහ බැංකුවේ බරපතළ දූෂණ, වංචා සිදුවී තිබෙන්නේ 2008 සිට 2016 දක්‌වා කියා බොහෝම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ එක්‌කම මම පත්කළ අනෙක්‌ කොමිසම බරපතළ වංචා, දූෂණ කොමිසම මේ වාර්තා දෙකම ඉල්ලලා කෑගැහුවා. දෙන්න දෙන්න ජනාධිපති අතේ තියාගෙන ඉන්නවා, ඕක හංගගෙන ඉන්න එපා කියලා. මමත් දුන්නා පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. දෙකම ඇරියා. කෝ අර කෑගහපු මිනිස්‌සු. සද්ද නැහැ. පොත වැහුවා. දෙගොල්ලෝ කතා වෙලා පොත වහගත්තා. මොකද විවාදේ ගියානම් දන්නවා දොගොල්ලන්ගේම ඇඟේ තිබෙන රෙදි බුරුල් වෙනවා කියලා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කණ්‌ඩායම පැහැදිලිව කිව්වා විවාදයක්‌ තියන්න කියලා. නමුත් පක්‍ෂ නායක රැස්‌වීමේ වැඩි බලය තියෙන්නේ ඔය වාර්තා දෙකට අයත් පක්‍ෂවලට. අපේ ඉන්නේ පාර්ලිමේන්තුවේ 41 යි. අනිත් හැමෝම කිව්වා මේක වහමු කියලා. විවාද එපා කියලා. දූෂණය, වංචාව, නාස්‌තිය ඒ නිසායි තමුන්නාන්සේලාට ඊයේ පෙරේදාත් කිව්වේ, මම 2014 නොවැම්බර් මාසයේ 21 වැනිදා මේ පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රතිපත්තියට දර්ශනයට නැතුව බණ්‌ඩාරනායක දර්ශනයට නැතුව මේ රට ඒකාධිපතීත්වය කරා යන විට මිනිස්‌ ඝාතන, අතුරුදන්වීම් ඒ සියල්ල සමග තිබුණු කාලයක මම ආණ්‌ඩුවෙන් එළියට ඇවිල්ලා පොදු අපේක්‌ෂකයා විදියට ඉදිරිපත්වූ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයෝ මට ඇඟිල්ල දික්‌කරලා කිව්වා, ඇයි තමුසේ ඔහොම අපේ පක්‍ෂයට කරන්නේ කියලා. අපේ රත්නපුර මිත්‍රයෝ මට ගලුත් ගැහුවානේ. දේශපාලනයේ සදාකාලික සතුරන් ද නැත මිතුරන් ද නැත. එයයි ඇත්ත තත්ත්වය. ඒ නිසා ඕන වෙලාවක වෙන්වෙන්න පුළුවන්. එක්‌ වෙන්න පුළුවන්.

මේ රටේ දූෂණය, වංචාව, නාස්‌තිය සමග තිබෙන තත්ත්වයේදී අද ආණ්‌ඩුව තුළ සිදුවන වැරදි නිසා ඇතිවන බරපතළ දූෂණ මහ බැංකු මංකොල්ල මේවා සමග මම ප්‍රකාශ නිකුත් කරා වගේම ක්‍රියාත්මක කළා. කොමිසන් සභා වාර්තාව අවසන් වෙනකන් හිටියේ නැහැ. මහ බැංකු කොමිසම සාක්‌ෂි සටහන් කරගෙන යන කොට, පත්තරවල දකින විට ජනතාවගේ ඇතිවූ උද්වේගකාරී තත්ත්වයත් සමඟ මේ මහා මංකොල්ලය එළිවෙද්දී මමත් ජනතාවගේ පැත්තටයි වැටුණේ. මම ජනතාවගේ පැත්තට වැටිලා කොමිසමට මම පැහැදිලිව ආශිර්වාද කෙරුවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මගේ ආදරණීය පාක්‍ෂිකයෝ 2014 නොවැම්බර් මාසයේ මට ඇඟිල්ල දික්‌කරලා ඇහුවා වගේ ඇයි උඔ අපිට මෙහෙම කරන්නේ කියලා මාව ජනාධිපති කරන්න ඉදිරියෙන්ම හිටපු එක්‌සත් ජාතික පක්‍ෂයේ, පාක්‍ෂිකයෝත් පසුගිය මාසවල මගෙන් අහුවා තමුසේව අපි ජනාධිපති කෙරුවා. ඇයි අපිට ඔහොම කරන්නේ කියලා. මම ඒ නිසායි කිව්වේ මම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාක්‍ෂිකයන්ට එදා ද්‍රෝහි වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට එදා ද්‍රෝහි වුණේ නැහැ. මම අද එක්‌සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයින්ට ද්‍රෝහිවෙලා නැහැ. මම එක්‌සත් ජාතික පක්‍ෂයට ද්‍රෝහිවෙලා නැහැ. මම ද්‍රෝහි වන්නේ විරුද්ධ වෙන්නේ මම දැඩි ක්‍රියාමාර්ග ගන්නේ දූෂණයට, වංචාවට, හොරකමට, නාස්‌තියට හා පවුල්වාදයටයි. කොතනද ඒ අය ඉන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ද එක්‌සත් ජාතික පක්‍ෂයේ ද මොන පක්‍ෂයේ ද මොන වර්ණයේ ද කියලා මට ප්‍රශ්නයක්‌ නැහැ. ඒ හැම කෙනෙකුටම දෙන්න තිබෙන ඉහළම දඬුවම් දෙන්න නීතිය ඉස්‌සරහට ගෙනියන්න හිරේ දාන්න ද අපායට යවන්න ද ඔය ඕන දෙයකට මම ඒ වැඩ කටයුතු අඩුවක්‌ නැතුව ඉටු කරනවා කියන එක මම බොහෝම පැහැදිලිව කියන්නට ඕන.

අපි ගෙනයන මේ වැඩපිළිවෙළ තුළ රටට ආදරය කරන දේශපාලනඥයන් පිරිසක්‌ සාදාගත යුතුයි. අද තමුන්නාන්සේලාට මේ මැතිවරණ ව්‍යාපාරයෙන් ලැබෙන ප්‍රතිඵලය කොට්‌ඨාසයට මන්ත්‍රීවරයෙක්‌. ගමට මන්ත්‍රීවරයෙක්‌. මේ තත්ත්වය ඇති කර ගැනීමට අපි සටනක්‌ කෙරුවා. මේක නැති කරන්න අපිත් එක්‌ක කට්‌ටිය සටන් කළා. ආණ්‌ඩු පක්‍ෂයේම කට්‌ටිය. අනෙක්‌ පාර්ශ්වය. විපක්‍ෂය. ඔය කෑ ගහන ජී. එල්. පීරිස්‌ මහත්මයාගේ කට්‌ටිය. මේ හැමෝම කිව්වා කළින් තිබුණු මනාප ක්‍රමයට යමු කියලා. කොට්‌ඨාස එපා. අපි අවුරුදු එකහමාරක්‌ පාර්ලිමේන්තුව ඇතුළේ ඇමැති මණ්‌ඩලය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කණ්‌ඩායම කිව්වා බැහැ කොට්‌ඨාස ඡන්ද ක්‍රමයම ඕන කියලා. ඇයි ඒ? මේ රටේ දේශපාලනය දූෂිත වුණේ, දූෂිත දේශපාලනඥයින් ඇති වුණේ. මනාප ඡන්ද ක්‍රමය නිසයි.

මේ රටේ මොනතරම් අවංක නායකයෝ හිටියාද දේශපාලනය උගන්වපු. ඩී.එස්‌. සේනානායක, එස්‌.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්‌ඩාරනායක, සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය, ඩඩ්ලි සේනානායක මැතිතුමා මොනතරම් අවංක, නිහතමානි, මිනිස්‌සුන්ට ආදරය කරපු මිනිස්‌සුද. තමන්ගේ වත්කම්, දේපළ සියල්ල ඒ මිනිස්‌සු නැති කර ගත්තා. පාරම්පරික ධනය, ඉඩකඩම්, වතුපිටි නැති කරගත්තා. අපි පුංචි කාලේ ඒ නායකයෝ දිහා බැලූවේ දෙවිවරු දිහා බලනවා වගේ. අද දේශපාලනඥයාව තිත්තයි ජනතාවට. ප්‍රතික්‌ෂේප කරනවා. ඇයි ඒ? හොරකම, වංචාව, දූෂණය, නාස්‌තිය ප්‍රාදේශීය සභාවට ආපු තැන සිටම බලන්නේ කීයක්‌ හරි හොයාගන්න. මේ රටේ 50% ක තත්ත්වය එයයි. 50% ක්‌ ඉතාම හො`දින් ඉන්නවා. හැම කෙනෙකුටම නෙවෙයි මම කියන්නේ. අද දේශපාලනය දූෂිත වූ නිසා එතනින් පහළට මෙය ගලා ගියා. ඒ තත්ත්වය තුළ රට විනාශ වුණා. ආර්ථිකය කඩා හැළුණා. රට ඉදිරියට යැමට තිබුණු තත්ත්වය නැති වුණා.

තමුන්නාන්සේලා ලෝකයේ රට රටවල් වල ගිහිල්ලා ලෝකය අන්තර්ජාලයෙන් දැකලා රූපවාහිනියෙන්, ගුවන්විදුලියෙන් දැකලා අහලා ඔබ කියනවා අර රට විදියට ඇයි මේ රට හදන්න බැරි. කොච්චර ලස්‌සනද ඒ රට ඇයි ඒවගේ අපේ රට හදාගන්න බැරි. මේ රටේ මොනවාද අඩු? මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, විද්‍යාඥයන්, පඬිවරුන්, බහුශ්‍රැතයන්, මානවවාදීන් සිටිනවා. ඔවුන් ලෝකයේ රටවල සේවය කරනවා. මේ රට තුළ බොහෝ පිරිසක්‌ සේවය කරනවා. මේ රටට ස්‌වාභාවික සම්පත්වලින් මොනවාද අඩු? ලංකාවට ආ සිංගප්පූරු අගමැතිතුමා, ඉන්දුනිසියාවේ ජනාධිපතිතුමා දෙදෙනාම මගෙන් ඇහුවා මෙච්චර ලස්‌සන රටක්‌ තව ඉස්‌සරහට ගෙනියන්න පුළුවන් නේද කියලා. මේ රටේ සියල්ල තිබුණත් මේ රට ගොඩගන්න බැරි දූෂිත දේශපාලනය නිසයි.

දේශපාලනය ඇවිල්ලා කරන බරපතළ විනාශකාරී තත්ත්වය නිසා. දේශපාලනය ඇවිල්ලා පුටුවෙන් බහින්නේ නැතුව ව්‍යවස්‌ථාව වෙනස්‌ කරගන්නා නිසා. පුටුව අත්හරින්න ලෑස්‌ති නැති නිසා. මේ රටේ මේ තත්ත්වය ඇති වුණු බව ඔබ දන්නවා. මෙය පසුගිය අවුරුදු විසිපහක්‌, තිහක්‌ තිස්‌සේ සිදුවූ දෙයක්‌.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මට භාර දුන්නේ මම ජනාධිපති වී දවස්‌ 11 කට පසුව. මට පක්‍ෂයේ නායකයෝ ආරාධනා කරලා පක්‍ෂය මට භාර දුන්නා. මගේ මිත්‍ර මහින්ද රාජපක්‍ෂ මැතිතුමා චමල් රාජපක්‍ෂ මැතිතුමාගේ නිවසට මට එන්න කියා අපි තුන් දෙනා හමුවුණා. ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු 35, 40 ක්‌ පමණ එහි සිටියා. මගෙන් ඇහුවා පක්‍ෂය භාර ගන්න කැමතිද කියලා. මම කිව්වා, භාර දෙනවානම් මම භාර ගන්නම් කියලා. මොකද මගේ ඇඟේ තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය. මගෙන් මහින්ද රාජපක්‍ෂ මහත්මයා ඇහුවා, අලූත් නිලධාරි මණ්‌ඩලයක්‌ තෝරනවාද? මම කිව්වා පක්‍ෂය මට භාර දෙනවානම් අලුත් නිලධාරී මණ්‌ඩලයක්‌ තෝරන බව. පක්‍ෂය මට භාර දුන්නා. 2015 පක්‍ෂයේ සංවත්සර තිබුණේ පොළොන්නරුවේ. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාත් පොළොන්නරුවට ඇවිත් අපි දෙන්නා එකට වාඩිවෙලා සංවත්සර උත්සවය ඉතාමත් සාර්ථකව සිදු කළා. එතුමා දන්නේ නැතුව යටින් සිටින පිරිසක්‌ ජී.එල්. පීරිස්‌ මහත්මයාගේ පක්‍ෂය හදා ගත්තා. 2015 පක්‍ෂයේ තිබුණු තැනට වැඩිය මම භාරගත්තේ පරාදවූ පක්‍ෂයක්‌. ඔබ දන්නවා. ජනාධිපති ඡන්දයෙන් පරාදයි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාදයි. අවුරුදු දෙකක්‌ ඡන්දයට යන්න තිබියදී හිටපු ජනාධිපතිතුමා ඡන්දයකට යැම තුළ පේනවා බැරි නිසයි ගියේ කියලා. පරාද වූ පක්‍ෂයක්‌ මට භාර දුන්නා. ආණ්‌ඩුව කරනවා වගේම රට කරනවා වගේම පක්‍ෂය ශක්‌තිමත් කරන්න පක්‍ෂය ප්‍රජාතන්ත්‍රවාදී කරන්න පක්‍ෂයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන්න පක්‍ෂයේ බලය මධ්‍යගත කරන්න පක්‍ෂයේ ව්‍යවස්‌ථාව පවා වෙනස්‌ කළා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කළා වගේම. අපි ඉතා පැහැදිලිව අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. 2015 ට වඩා 2016 දී පක්‍ෂය ඉහළට ආවා. සංවත්සර රැස්‌වීම්වල, මැයි රැළිsවල. 2016 ට වඩා 2017 දී ඉහළට ආවා පක්‍ෂ සංවත්සරයේ සහ මැයි රැළිවලදී. මේ සැරේ අපි ප්‍රාද්ශීය සභා ඡන්දෙට නාම යෝජනා දෙන විට එදා තිබුණු තැන නෙවෙයි අද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තියෙන්නේ. අපි පෙබරවාරි 10 වැනිදා මුළු රටම දිනනවා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය. අත ලකුණ බුලත් කොළේ දීප ව්‍යාප්තව ජයග්‍රහණය කරනවා. ලංකාවේ පළාත් පාලන ආයතන 442 ක්‌ තිබෙනවා. අපි 339 ට තරග කරනවා. ලංකාවේ පළාත් පාලන ආයතන 442 න් 339 කට තරග කරන්නේ අපි විතරයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විතරයි. අනිත් හැමෝම සිටින්නේ ඊට පහළ බව මතක්‌ කරන්නට ඕන. දිස්‌ත්‍රික්‌ නායකයන්ගේ සංවිධායකවරුන්ගේ කැමැත්ත අනුව සමහර දිස්‌ත්‍රික්‌කවල අපි අත ලකුණෙන් තරග කරනවා. පොළොන්නරුව අත ලකුණින් තරග කරන්නේ. ජෝන් සෙනෙවිරත්න මැතිතුමාලා බුලත් කොළයෙන්. සන්ධාන ගතවූ තොන්ඩමන් මහත්මයා කිව්වා අපේ සන්ධාන ගිවිසුම් අත්සන් කරනවා කුකුළා ලකුණින් තරග කරනවා කියලා. නැගෙනහිර අතාවුල්ල මහත්මයා කිව්වා, තරග කරන්න එයාට දෙන්න අශ්වයාගෙන් කියා. අපි ගිවිසුම අත්සන් කෙරුවා. අපි තරග කරන්නේ නැහැ. ඔහුට දුන්නා. උතුරේ යාපනයේ කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වව්නියාව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මීට පෙර තරග කරලා නැහැ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පළවැනි වතාවට මුළු උතුරම තරග කරන්නේ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය අත ලකුණින් බව තමුන්නාන්සේලා අමතක කරන්න එපා. මේ මැතිවරණ ප්‍රතිඵලය බොහෝම පැහැදිලියි. අපි ජයග්‍රහණය කරනවා.

RSL

Related Posts