පක්‍ෂය කුමක්‌ වුවත් දූෂණයට, වංචාවට මම විරුද්ධයි – ජනාධිපති

Spread the love

ඉදිරියේදී පවත්වන පළාත් පාලන මැතිවරණයට පසු තේ සහ ගම්මිරිස්‌ ප්‍රති අපනයනය සම්පූර්ණයෙන්ම නවත්වා බීජ අර්තාපල් සඳහා 100% බදු සහනයක්‌ නියත ලෙස ලබා දීමට තමන් පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 28 දා බදුල්ලේ පැවැති එජානි සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ජනතා රැලියක්‌ අමතා පවසා සිටියේය.

බදුල්ල සේනානායක පිටියේ පැවැති එම ජනතා රැලියට එක්‌ව සිටි විශාල පිරිස අමතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දීර්ඝ කතාවක්‌ කරමින් මෙසේද කීය.

අද විශිෂ්ට විජයග්‍රාහී ජන රැලියක්‌ මේ ඓතිහාසික බදුල්ලේදී පැවැත්වෙන්නේ යෑයි කියන එක මට පෙනී යන කාරණයක්‌.

ඔබේ වේදිකාවේ අද බොහෝ දේ අසන්න ඇති. පසුගිය දිනවල මාධ්‍ය තුළ මේ පළාත් පාලන මැතිවරණය මුල්කරගෙන බොහෝ දේ ඔබේ කනට ඇසෙන්නට ඇති. ඇතැම් දේ ඔබේ හිතට ගන්න ඇති. ඇතැම් දේ සිතෙන් ඉවත්කර ගන්න ඇති. ඇතැම් දේ පිළිබඳව ඔබ මධ්‍යස්‌ථව සිතන්න ඇති.

මේ රට ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත් කළ රටක්‌. මේ රට ජනතාවගේ නිදහස මා විසින් ශක්‌තිමත් කළ රටක්‌. මේ පරිසරය තුළ නිදහසේ ජීවත් වන්නට මා විසින් ශක්‌තිමත් කළ රටක්‌. ඒ පසුගිය අවුරුදු 3 ක කාලය තුළ විශේෂයෙන් සඳහන් කරන්නට ඕන. සමහර අය අහනවා මෛත්‍රිපාල සිsරිසේන ජනාධිපතිවෙලා මොනවාද කළේ කියලා. කළ දේ ටිකක්‌ කියන්නම්. කළ දේ කියන්න කලින් තිබුණ දේ කියන්නත් මම බලාපොරොත්තු වෙනවා.

2015 ජනවාරි 08 දා ඡන්දයෙන් මේ රටේ ජනාධිපති ධුරයට පත්වන විට මේ රට තිබුණු තැන මම ඔබේ මතකයට ගේන්නම්. බොහෝවිට ඔබ යුද ජයග්‍රහණය සමග රටේ සාමය පිළිබඳව කතා කළා. ඒ යුගය සංවර්ධනය සුන්දරත්වය ගැන කතා කළා. රට හොඳින් යනව කියලා කතා කළා.

ඔබ වගේම මමත් එදා ආණ්‌ඩු හදන්න ආණ්‌ඩු පිහිටුවන්න මගේ මුළු ජීවිත කාලයම ශ්‍රීලනි පක්‍ෂය වෙනුවෙන් කැපකළ කෙනෙක්‌. මම 2014 නොවැම්බර් 21 දා මම හදාපු ආණ්‌ඩු පක්‍ෂයේ ලේකම් විදියට අවු. 13 ක ඉඳලා ශ්‍රීලනිප තුළ අඛණ්‌ඩව අවු. 47 ක්‌ කටයුතු කරමින් සිට එළියට එන විට විශේෂයෙන්ම ශ්‍රීලනි පාක්‍ෂිකයන් ඇඟිල්ල දික්‌ කරලා ඇහුවා තමුසේ ඔය කරන වැඩේ හරිද හොඳද කියලා.

මේ ආණ්‌ඩුවේ ගතවූ කාල සීමාව තුළ වැරදි දේවල් ආණ්‌ඩුව පැත්තෙන් සිදුවන විට මම කොමිෂන් සභා දාලා ඒවා ශක්‌තිමත් කරලා නිවැරදි දේ කතා කරන විට පසුගිය ජනාධිපතිවරණයේදී මට ඡන්දය දුන්න ආදරණීය එජා පක්‍ෂ පාක්‍ෂිකයන් මගෙන් අහන්න ගත්තා ඔබ කරන දේ හරිද කියලා. මම ඉතා පැහැදිලිව කියන්න ඕන මම ශ්‍රීලනි පක්‍ෂයට හෝ ශ්‍රීලනිප පාක්‍ෂිකයන්ටවත් එජා පක්‍ෂයට හෝ එජාප පාක්‍ෂිකයන්ටත් ෙද්‍රdaහිකම් කළ කෙනෙක්‌ නොවෙයි.

දෙමවුපියනි, දරුවනි මම විරුද්ධව වන්නේ මම දැඩි තීන්දු තීරණ ගන්නේ පක්‍ෂය කුමක්‌ වුවත් වැරැද්දට දූෂණයට වංචාවට හොරකමට නාස්‌තියට විරුද්ධව බව බොහෝම පැහැදිලිව කියන්නට ඕන.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයාගේ කාර්යාලය ඉස්‌සරහ ලංකාවේ ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමැතිවරයෙක්‌ ගිහිල්ලා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට විරුද්ධව උපවාස කෙරුවා. රටේ රාජ්‍ය නායකයා ඔහු ළඟට ගිහිල්ලා ඔහුට තැඹිලි පෙව්වා. එක්‌සත් ජාතීන්ගේ මුළු සමුළුව අපෙන් ඈත් වුණා. අපෙන් ඉවත් වුණා. මානව හිමිකම් කොමසාරිස්‌වරිය නවනීදන් පිල්ලේ ලංකාවට ආවාම ආණ්‌ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක්‌ නවනීදන් පිල්ලේ විවාහ කර ගන්න හොඳයි කියලා කිව්වා.

වංචා හා දූෂණ කොමිෂන් සභාව බරපතළ දූෂණ වංචා ගැන එහි සඳහන් කරනවා. පෙන්වාදීලා තිබෙනවා. කොමිෂන් වාර්තා දෙකේ කවුද වගඋත්තරකාරයෝ. මොන පක්‍ෂද? මට ඒ ගැන කිසි ප්‍රශ්නයක්‌ නැහැ. ඒ ඕනෑම කෙනෙකුට දිය හැකි උපරිම දඬුවම දීමට මම පැහැදිලිව ක්‍රියා කරනවා කියන එක මම තමුන්නාන්සේලාට කියන්න ඕනෑ.

ශ්‍රීලනි පක්‍ෂ බණ්‌ඩාරනායක මැතිතුමාගේ දර්ශනයෙන් පෝෂණය වුණේ. ශ්‍රීලනි පක්‍ෂ කොඩිය සිරිමාවෝ මැතිනියගේ කඳුළුවලින් තෙත් වුණේ. බලන්න අපේ රටේ 40 දශකයේ 50 දශකයේ 60 දශකයේ නායකයෝ. ඩී.එස්‌. සේනානායක මැතිතුමා මොන තරම් ශේ්‍රෂ්ඨ නායකයෙක්‌ද? එස්‌.ඩබ්.ආර්.ඩී. බණ්‌ඩාරනායක මැතිතුමා මොන තරම් ශේ්‍රෂ්ඨ අවංක නායකයෙක්‌ද? සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය මොන තරම් අවංක නායිකාවක්‌ද? ඩඩ්ලි සේනානායක මැතිතුමා මැරෙන කොට එතුමාගේ බැංකු ගිණුමේ තිබුණේ රුපියල් 460 යි.

සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය තමාගේ ආණ්‌ඩුවෙන් පනතක්‌ ගෙනැල්ලා නීතියක්‌ හදලා තමන්ගේ පාරම්පරික වතු අක්‌කර දහස්‌ ගණනක්‌ ජනතාවට දුන්නා. බණ්‌ඩාරනායක මැතිතුමා මියයන විට එතුමාගේ නිවස උකස්‌ තියලා තිබුණේ. 56 ඡන්දයට සල්ලි නැතිව. අගමැතිකම අවුරුදු 3 ක්‌ කළා. මැරෙනකල් ඒ අවුරුදු 3 ටම උකස්‌ බේරා ගන්න බැරිව ගියා. එහෙම තමයි එදා නායකයෝ. නමුත් විශේෂයෙන්ම 70 දශකය අවසාන භාගයේ ඉඳලා මේ රටට කුමක්‌ද වුණේ. මේ රට දේශපාලනය නිසා විනාශ වුණා.

නොයෙක්‌ නොයෙක්‌ මුqහුණු වරින් මේ ඡන්දයට එන දේශපාලන සංවිධාන තියෙනවා. ශ්‍රීලනි පක්‍ෂයේ තවත් පක්‍ෂයක්‌ හදා ගත්ත කට්‌ටියක්‌ ඉන්නවා. ජී. එල්. පීරිස්‌ මහත්තයාගේ පක්‍ෂය ශ්‍රීලනි පක්‍ෂයෙන් කොටසක්‌ කැඩුවා. ශ්‍රීලනි පක්‍ෂය එකතු කරන්න සමගි කරන්න අපි නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා හැම කෙනෙක්‌ම නොගත්ත වෙහෙසක්‌ නැහැ. දූෂිතයෝ එකතු කරන්න නොවෙයි. ප්‍රචණ්‌ඩත්වය එකතු කරන්න නොවෙයි. ශ්‍රීලනි පක්‍ෂය එකතු කරන්න. නමුත් අපි දන්නවා සිද්ධ වෙච්ච දේ කුමක්‌ද කියලා. ඒ නිසා අද තමුන්නාන්සේලාට පැහැදිලිව කියන්න ඕනෑ මේ මැතිවරණ ව්‍යාපාරය තුළ මේ තියෙන තත්ත්වය ගෞරවනීය ලෙස සැලකිල්ලට ගන්න.

හොඳ රටක්‌ හදන්න, හොඳ ගමනක්‌ යන්න. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. මම නුවරඑළියේ දේශපාලන රැස්‌වීමක දැකපු එතරම් ජනකායක්‌ දැක්‌කේ අද තමයි. මම මඩකලපුවට ගියා. මගේ ජනාධිපති මැතිවරණයටත් එතරම් සෙනගක්‌ හිටියේ නැහැ. ඒ වාගේම අපේ කිසිම රැස්‌වීමකට පිටස්‌තර දිස්‌ත්‍රික්‌කයකින් බස්‌ දමලා සෙනග ගෙන්වලා නැහැ. අපේ සෑම රැස්‌වීමක්‌ම එහෙමයි.

ජී. ඇල්. පීරිස්‌ මහත්තයාගේ පක්‍ෂයේ ඊයේ පෙරේදා දඹුල්ලේ රැස්‌වීමක්‌ තිබුණා. කුරුණෑගලින් බස්‌ 50 යි. අනුරාධපුරෙන් බස්‌ 20 යි. එහෙමතමයි පරණ පුරුදු වැඩේම කරන්නේ. පරණ පුරුදු වැඩේම කරලා රැවටෙනවා. කැමරාවල් හදලා එහාට මෙහාට කරලා මෙච්චර සෙනග ඉන්නවා කියලා පෙන්වනවා. අද පැහැදිලි ජනමතයක්‌ ගොඩනැඟෙනවා රටේ විශාල පරිවර්තනයක්‌ වෙනසක්‌ මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ ඇතිවෙලා තියෙනවා. අපි පසුගිය මාස 1 1/2 කට කලින් හිටිය තැනට වැඩිය රටේ මුදුනටම ඇවිත් තියෙනවා.

අත ලකුණ බුලත් කොළය පුටුව ලකුණ අශ්වයා ලකුණ අපේ සංවිධානවල ලකුණු.

මම අවුරුදු 3 ක්‌ සෑම කෙනකුටම බොහෝම නිදහසේ ඉන්න දුන්නා. අපි සියලු දෙනාගේ උත්සාහයෙන් අපේ කාලය තුළ විදේශ ආයෝජන, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු විදේශ වත්කම් හොඳ තත්ත්වයට ඇවිත් තියෙනවා. නමුත් ජීවන බර විවිධ ආර්ථික ගැටලු තිබෙනවා.

මං මේ රටේ ජනාධිපතිවරයා හැටියට ආර්ථික පැත්ත එක්‌සත් ජාතික පක්‍ෂයට භාරදීලා තිබුණේ. නමුත් ජනතාවට ඇතිවී තිබෙන පීඩාකාරී තත්ත්වය නිසා පෙබ. 10 ට පස්‌සේ ආර්ථිකය කළමනාකරණය කිරීම මගේ ආර්ථික සභාව හරහා කරන්න මම පටන් ගන්නවා.

තමුන්නාන්සේලාට තේ වතු ආර්ථිකයත් වගේම සාමාන්‍ය ජනතාවට ගම්මිරිස්‌ ආර්ථිකයත් අර්තාපල් වගේම එළවළු ආර්ථිකයත් තියෙනවා. ලංකාවේ තේවලට හොඳ ඉහළ පිළිගැනීමක්‌ තිබුණා. නමුත් ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ මේවා දුර්වල කරලා බාල කරලා අපේ තේවල වටිනාකම නැතිකර ගත්තා. මෙම මැතිවරණයට පසු ආර්ථික කළමනාකරණය තුළ තේ ප්‍රතිඅපනයනය සම්පූර්ණයෙන්ම නවත්වනවා.

ගම්මිරිස්‌ ගොවියාට බලපා තිබෙන මිල පහළ යැම වෙලා තියෙන්නේ ගම්මිරිස්‌ ප්‍රති අපනයනය නිසයි. පෙබ. 10 ට පස්‌සේ පැහැදිලිවම ගම්මිරිස්‌ ප්‍රති අපනයනයත් නවත්වනවා.

බීජ අර්තාපල්වලට මම 50% බදු සහනයක්‌ ඇති කළා. බීජ අර්තාපල් බදු සහනය 100% ක්‌ අයින් කිරීමට කටයුතු කරනවා.

පසුගිය දිනවල වංචා දූෂණ ගැන කතා කරන වෙලාවේ මහ බැංකු වාර්තාව සහ ජනාධිපති කොමිසම් වාර්තා පාර්ලිමේන්තු විවාදයක්‌ දුන්නා. විවාදයක්‌ දුන්නාට පස්‌සේ ශ්‍රීලනිප හැර අනිත් ඔක්‌කොම එකතුවෙලා විවාදය නැවැත්වූවා. පොත වැහුවා. විවාදය කළා නම් කාගේද කුණු ඇදෙන්නේ කියලා දන්නවා. එම නිසා ජී.එල්. පීරිස්‌ මහත්තයාගේ කණ්‌ඩායමයි අපේම ආණ්‌ඩුවේ අනිත් කණ්‌ඩායමයි දෙගොල්ලම විවාදයක්‌ නොකරන්න තීරණයක්‌ ගත්තා. විවාද කළොත් රටේ ජනතාවට කරුණු ගිහිල්ලා ඒ ගොල්ලෝ ඇඳගෙන ඉන්න ඇඳුම් බුරුල් වන බව ඒගොල්ල දන්නවා. ඒක තමයි ඇත්ත තත්ත්වය.

මම අභියෝග කළා 10 දාට කලින් විවාදය තියන්න කියලා. මට ආරංචියි පෙබ. 8 සහ 9 දා මැතිවරණ ව්‍යාපාරය ඉවරවෙලා විවාද කරනවා කියලා. අන්න එහෙමයි ඉන්න ඕනෑ. මම කිව්ව නිසා තමයි විවාද කරන්න සිද්ධ වුණේ. පොත වැහුවේ ඇයි කියලා ඇහුවාම දෙන්න උත්තරයක්‌ නැතිව ජනතාව ඉදිරියට යන්න බැරිව පොත වහපු අය තීන්දු කරලා තියෙනවා.

මෙම ජනහමුව අමතා ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, විද්‍යා හා තාක්‍ෂණ පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ලංකා කම්කරු කොංග්‍රස්‌ පක්‍ෂයේ නායක ආරුමුගම් තොන්ඩමන්, හිටපු පා.ම. අනුරුද්ධ පොල්ගම්පල, හිටපු ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් වන අජිත් හික්‌කඩුව ලියනගේ සහ කුමාර් ගුරුබරන් යන මහත්වරුද කතා කළහ.

RSL

Related Posts