ජනපති නියෝගයෙන් අගතියට පත් රණවිරුවන්ට මිලියන 6500ක්

Spread the love

පසුගිය තිස් වසරකට වැඩි කාලයක් උතුරු නැගෙනහිර පැවැති යුද්ධයේදී අනතුරට පත්ව වෛද්‍ය හේතු මත විශ්‍රාම යැවු රණවිරුවන් අතරින් අගතියට පත්වූ හාරදහසක පමණ රණවිරුවන් කණ්ඩායමකට රුපියල් ලක්ෂ හැටපන්දාහසක් ගෙවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබාදී තිබේ.

අතිරේක ආරක්ෂක ලේකම් සරත් කුමාර මහතා ඒ බව තහවුරු කළේය. තවත් මාස දෙකක් තුළ කොටස් වශයෙන් මෙම පිරිසට එම මුදල ගෙවීම ආරම්භ කරන බව යුද්ධ හමුදාවේ වැටුප් හා ලේඛන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සනත් පෙරේරා මහතා පැවසීය.

මෙම මුදල ඔවුන්ට හිමිවිය යුතුව තිබුණත් පසුගිය කාලය පුරාම ඔවුන්ට එම මුදල ගෙවීම කල්දමමින් තිබී ඇත. මෙම අගතියට පත් කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඔවුන්ට හිමි මුදල ලබාදෙන ලෙසට කරනු ලැබු ඉල්ලීම් සලකා බලා කඩිනමින් එම මුදල් ගෙවීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

ඒ අනුව මෙම මුදල් ගෙවීමට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර ඇත. වෛද්‍ය හේතු මත මෙසේ විශ්‍රාම යැවූ රණවිරුවෙක් මියගොස් ඇත්නම් ඔහුගේ ඥාතීන්ට එම ඥාතීත්වයට අනුව එම මුදල හිමිවෙයි.

ඊට අමතරව ත්‍රිවිධ හමුදාවේ සියලුම රණවිරුවන්ට පසුගිය ජනවාරී මාසයේ සිට හිඟ මුදල් ද සහිතව හිමිවන පරිදි රජයේ සේවකයන්ට මෙම රජයෙන් ලබාදුන් රුපියල් දසදහසේ සහ දෙදහස් පන්සියයක දීමනාවද ලබාදීමට කටයුතු යොදා තිබේ.

මෙම මාර්තු මාසයේදී එම හිඟ මුදල්ද සහිතව වැටුප් ගෙවීම ආරම්භ වෙයි.

මීට අදාළ චක්‍රලේඛද මේ වනවිට නිකුත් කර තිබේ.

මීට අමතරව මෙතෙක් සියයට අසූපහක් වූ රණවිරු සුරැකුම් දීමනා සියයට සියය දක්වා වැඩිකර ඇති බවද බ්‍රිගේඩියර් සනත් පෙරේරා පැවසීය. එම මුදල ඒ ආකාරයෙන්ම ලබාදෙන ලෙස වැන්දඹු රණවිරු බිරින්දැවරුන් විසින් කර තිබූ ඉල්ලීමද මේ අවස්ථාවේ ඉටුකර දී තිබේ.

මීට අමතරව විශ්‍රාම වැටුප් ඉල්ලා කොටුව දුම්රියපල අසල තවදුරටත් විරෝධතාවයේ යෙදී සිටින ආබාධිත රණවිරුවන් පිළිබඳව ඔවුන්ට හිමිවන වැටුප් හා දීමනා පිළිබඳ බ්‍රිගේඩියර් සනත් කුමාර මහතා මෙසේ කරුණු දැක්වීය. මෙම ඉල්ලීම 2008 වර්ෂයේ සිට කළ දෙයක්. පසුගිය නොවැම්බර් පළමු වැනිදා ඔවුන්ට ලිඛිතව දැනුවත් කළා ඔවුනගේ ඉල්ලීම මෙම පෙබරාවරි සිට ලබාදුන්නා. එහෙත් ඔවුන් තවදුරටත් වර්ජනයේ යෙදී සිටිනවා. ලැබෙන්නේ සොච්චම මුදලක් බව පවසමින්.

මෙසේ ආබාධිතව වර්ජනයේ යෙදී සිටින්නේ අවුරුදු 10ට වඩා අඩු කාලයක් යුද්ධයට ගොස් ආබාධිතව සිය කැමැත්තෙන් ඉවත් වූ රණවිරුවන්. ඔවුන් අතර මාස දෙක තුනක් සේවයේ යෙදී සිටින අයත් සිටිනවා.

ඔවුන්ගේ වැටුපට අනුව මෙම විශ්‍රාම වැටුප තීරණය වී තිබෙනවා. මෙම රණවිරුවෙක් මෙම විශ්‍රාම වැටුපද ඇතුළත්ව මේ වනවිට මසකට රුපියල් පනස්දහසක් ලක්ෂය දක්වා ඒ අතර මුදලක් ලබා ගන්නවා.

ඒ අනුව එක් දවසක් හමුදා සේවයේ යෙදී සිට විශ්‍රාම ගියත් මේ ආකාරයේ විශාල වැටුපක් ඔවුනට හිමිවෙයි. ඔවුන්ගේ එම ඉල්ලීම වර්තමාන රජය ඉෂ්ට කළේ රණවිරුවන්ට කරන ගෞරවයක් වශයෙනි.

මේ සඳහා යුද හමුදා විශ්‍රාම වැටුප් සංග්‍රහයද වෙනස් කිරීමට භාජනය කළ බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් සී. ඩයස් මහතා හෙළිදරව් කළේය.

මෙම හිමිකම ලබන පිරිස දෙදාස් දෙසීයක් පමණ වෙයි. අවුරුදු 12ට වැඩි සේවා කාලයක් ඇති විශ්‍රාම වැටුප් හා දීමනා ලබන ත්‍රිවිධ හමුදාවේ පිරිස දාහතරදහසක් වෙති.

මීට අමතරව යුද්ධයෙන් නොව ක්‍රියාන්විත ප්‍රදේශවලදි වෙනත් අනුරුවලින් ආබාධිත වූ පිරිසට වැටුප, සෙසු දීමනාවලට අමතරව සේවා විශ්‍රාම වැටුපද ගෙවනු ලබයි.

මීට අමතරව මිය ගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් තවත් විවාහයක් කර ගන්නේ නම් ඔවුන්ට එකවර වන්දි මුදලක්ද ලබා දීමට කටයුතු කර තිබේ.

ඔවුන්ගේ දරුවන් සිටී නම් ඔවුන්ට වැටුප හිමිවන අතර දරුවන්ගේ භාරකරු ලෙස සලකා විවාහක බිරිඳට වැන්දඹු අනත්දරු වැටුපෙන් භාගයක් හිමිවෙයි.

ත්‍රිවිධ හමුදාවේ සේවයේ යෙදී සිට තවදුරටත් වර්ජනයේ යෙදී සිටින රණවිරුවන්ට වැටුප් විශ්‍රාම වැටුප් හා සෙසු දීමනාවන්ද ලබාදී මසකට විශාල වැටුපක් ලබන එම රණවිරුවන් අසාධාරණ ලෙස කරගෙන යන එම වර්ජනය සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවේදී එම කරුණු හෙළිදරව් විය.

RSL

Related Posts