ජනපති සංවේදී කළ අනුවේදනීය මොහොතක්..

Spread the love

රුදුරු ජල රකුසා විසින් දකුණු පළාතට කළ වින්නැහිය සුළුපටු නොවේ. මේ වනවිටත් විපතට පත් ජනතාව යළි නැඟී සිටීම සඳහා දැඩි අරගලයක නිරත වෙමින් සිටිති. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන් විසින් ආපදාවට ලක්‌වූ දිස්‌ත්‍රික්‌කවල විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම් පවත්වමින් විපතට පත්වූවන් වෙනුවෙන් කළ යුතු කාර්යයන් පිළිබඳ නිලධාරීන්ට උපදෙස්‌ ලබාදෙති. පවතින ගැටලු පිළිබඳ සොයා බලති. මාතර විශේෂ දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමට සහභාගි වීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කල්වේලා ඇතිවම පැමිණ සිටියේය.

ජනාධිපතිතුමා දිවා ආහාරය ගත්තේ මාතර අවන්හලේදීය. ඇමැති ලක්‌ෂ්මන් යාපා, මහ ඇමැති ෂාන් විඡේලාල් ද සිල්වා, චන්දිමා රාසපුත්‍ර යන ඇමැතිවරු ද මේ සඳහා එක්‌ව සිටියහ. දිවා ආහාරය ගැනීමෙන් පසු ජනාධිපතිතුමන් මැති ඇමැතිවරු සමඟ ආගිය තොරතුරු කථා බස්‌ කරමින් සිටියේය.

පරිසර වැඩසටහනකට සහභාගි වෙන්න මම උදේ බුලත්සිංහලට ගියා. වයස අවුරුදු දහය, පහළොව යන වයස්‌ කාණ්‌ඩවල පසුවූ දැරියන් තිදෙනකු හඬනවා. ඇයි දුවලා හඬන්නේ කියලා මා ඇසුවා. ඒ දුවලා කියනවා අනේ ජනාධිපතිතුමනි. අපි අකුරු කළ පාසලත් විනාශ වුණා. ඒක ලොකු දුකක්‌. ඒ වගේම අපේ නිවාසත් නැති වුණා. අපට දැන් පාසලකුත් නැහැ. යන්න නිවසකුත් නැහැ. මේ දුවලාගේ කථාව අහපුවහම මට විශාල දුකක්‌ මෙන්ම කනගාටුවක්‌ ඇතිවුණා ජනාධිපති මෛත්‍රි මැති ඇමැතිවරුන්ට කීවේය. ජනාධිපතිතුමාගේ මේ කථාවට එහි සිටි ෂාන් ඇතුළු ඇමැතිවරුන්ගේ දෑස්‌ කඳුළින් තෙත්ව ගියේය.

සර් බෙන්තොට බුදු පිළිම වහන්සේ නිරාවරණය කරන්න තියෙන්නේ බදාදා හවස මහ ඇමැති ෂාන් ජනාධිපතිතුමාට කීවේය. ඔව් මම ඒකට එනවා හම්බන්තොට තියෙන දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම හවස 2.00 ක තියාගන්න කියලා අමරවීර ඇමැතිතුමාට කියන්න මෙහිදී ජනාධිපවරයා කීවේය.

මාතර රැස්‌වීමට ඩලසුත් ඇවිත්

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මාතර දිස්‌ත්‍රික්‌ විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම සඳහා ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන ඩලස්‌ අලහප්පෙරුම, කංචන විඡේසේකර, වීරසුමන විරසිංහ නිරෝෂන් ප්‍රේමරත්න, බිංදු වීරසිංහ යන මන්ත්‍රීවරු ද පැමිණ සිටියහ. අපට නම් ආරාධනා කරලා නැහැ. ඒ නිසා රැස්‌වීමට ගියේ නැහැ එකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන අරුණ ගුණරත්න මන්ත්‍රීවරයා තම හිතවතුන් සමඟ කීවේය. නිල්වලා යෝජනා ක්‍රමයේ තුන් වැනි අදියර ක්‍රියාත්මක කළා නම් මාතරට ගංවතුර ප්‍රශ්නයක්‌ ඇති වන්නේ නැහැ. ඩලස්‌ අලහප්පෙරුම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ඒ විතරක්‌ නොව ඉදිරියේ ක්‍රියාත්මක කළ යුතු වැදගත් යෝජනා රැසක්‌ ද ඩලස්‌ පෙන්වා දුන්නේය.

ඩලස්‌ මන්ත්‍රීතුමාගේ යෝජනා ඉතා වැදගත් එතුමා පසුගිය ආණ්‌ඩුවේ වසර දහයක්‌ ඇමැතිවරයකු වශයෙන් හිටියා ඒ කාලයේ මේ යෝජනා ක්‍රියාත්මක කරන්න මතක්‌ වුණේ නැහැ. දැන්වත් මතක්‌ වීම ගැන සතුටුයි. නමුත් අපි මේ විපතේ දී සියලු දෙනා එක්‌ව වැඩ කළ යුතු බව මංගල සමරවීර ඇමැතිවරයා ඩලස්‌ගේ කථාවට පිළිතුරු බඳිමින් කීවේය.

සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමෙන් පසු ජනාධිපතිවරයා ඩලස්‌ අලහප්පෙරුම හා සුනිල් හඳුන්නෙත්ති සමඟ ටික වේලාවක්‌ කථාබස්‌ කරමින් සිටියේය. එහෙත් තේ පැන් සංග්‍රහය සඳහා ඩලස්‌ හා කංචන ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු සහභාගි වූයේ නැත.

මහින්ද ගාලු කොටුවේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ පසුගියදා ගාල්ල කොටුවේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට පැමිණ සිටියේය. දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැතිවරයා මෙන්ම අක්‌මීමන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද වන යූ.ජී.ඩී. ආරියතිලක ද හිටපු ජනාධිපතිවරයා එනවිට මළගෙදර සිටියේය.

මහින්ද රාජපක්‌ෂ මහතා සමඟ මෙම ගමනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහාන් සිල්වා, රමේෂ් පතිරණ. දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාරද එක්‌ව සිටියේයය.

හිටපු ජනපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්‌වීමෙන් පසුව අසුන් ගත්තේ ආරියතිලක ඇමැතිවරයා අසළය. ඔයාලගේ පළාත එහෙම යට වුණේ නෑ නේද හිටපු ජනපතිවරයා ආරියතිලකගෙන් විමසීය.

නෑ සර් එහේ යට වෙන්නේ නෑනේ ආරියතිලක මහතා පිළිතුරු දුන්නේය. දෙදෙනා අතර දේශපාලන කතාබහක්‌ සිදු නොවුණ අතර කතාබහ ආගිය තොරතුරුවලට සීමා වී තිබුණි. මේ අතර සිටි ආරියතිලක මහතාගේ ඥාතියකුගේ කුඩා දරුවකු හිටපු ජනපතිවරයා සමඟ ඡායාරූපයක්‌ ගැනීමට අවශ්‍ය බව පවසා ලබාදෙනු ලැබුණි. කුඩා දරුවා සිය උකුලේ තබාගත් හිටපු ජනපතිවරයා ඡායාරුපයකට පෙනී සිටියේය.

රත්තරන්ගෙන් බන්ධනාගාරයට යන්නට යෝජනාවක්‌

මේ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්ප කුමාර මහතා (රත්තරං) හිටපු ජනපතිවරයා වෙත පැමිණ ඉල්ලීමක්‌ කළේය.

සර් දන්වානේ සර් වෙනුවෙන් පක්‌ෂය මාරු කරපු ගැමුණු ඉන්නවා බන්ධනාගාර ගතවෙලා. අපි බන්ධනාරගායට ගිහින් එයාවත් බලලා යමු නේද. රත්තරන් කීවේය.

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ආහාර සූදානම් කර තිබුණේ කොටුව රෑම් පාට්‌ හෝටලයේය. ජනපතිවරයා සමඟ රමේෂ් මොහාන් රත්තරන් ගාල්ලේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයන් පිරිසක්‌ ද එක්‌ව සිටියහ. මෙහිදී අවුරුදු නැකත ගැන ද කථා බස්‌ කළේය. අපේ මාපලගම විමලරත්න මහත්තයා කියපු අනාවැකි එකක්‌වත් වැරදිලා නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ කීවේය. ඒ වුණාට සර් පසුගිය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කියපු අනාවැකිය වැරදුණා නේ දොස්‌තර රමේෂ් පතිරණ කීවේය. නැහැ ඔහු දැන සිටියා මාව පරදින බව නමුත් මට තියෙන ආදරය නිසා ඒක කීවේ නැහැ මහින්ද සිනහවෙමින් කීවේය.

අනතුරුව හිටපු ජනපතිවරයා බන්ධනාගාරයට ගොස්‌ රත්තරන්ගේ ඉල්ලීමද ඉටුකර පිටත්ව ගියේය.

දුමින්ද ආධාර බෙදීම ගැන කී කථාව

දුමින්ද දිසානායක හිනිදුම ප්‍රදේශයේ ආපදා සහන කටයුතු අධීක්‌ෂණය කිරීමට පත් කරනු ලැබූ අධික්‌ෂණ ඇමැතිවරයාය. ඉකුත් සති අන්තයේ දුමින්ද ගතකළේ නෙළුව හිනිදුම තවලම වැනි ප්‍රදේශවල සංචාරය කරනමිනි.

තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා කටයුතු පිළිබඳව අධීක්‌ෂණයට ගිය දුමින්ද දිසානායක මහතාට දැන ගන්නට ලැබුණේ විවිධ ප්‍රදේශවල ජනතාව මෙන්න රාජ්‍ය ආයතන හරහා ලැබෙන වියළි ආහාර සහනාධාර ද්‍රව්‍ය බෙදා දීමේදී එක්‌තරා අමාත්‍යංශයක නමක්‌ මුද්‍රණය කරනු ලැබූ බෑග්වල දමා බෙදන බවයි. මෙයින් ඇමැති දුමින්ද කෝපයට පත්ව සිටියේය. උසස්‌ පරිපාලන නිළධාරියකු දුරකථනයෙන් සම්බන්ධ කරගත් ඇමැති දුමින්ද මේ වගේ වැඩ කරන්න ඉඩ දෙන්න එපා.

මිනිස්‌සු දීපු ආධාර මේ විදියට නම් ගහලා බෙදන්න යන්න එපා. එහෙම වුණොත් ඉස්‌සරහට මිනිස්‌සු ආධාර කරන්නේ නැතිව යාවි ඇමැතිවරයා කියා සිටියේ දැඩි ස්‌වරයෙනි.

පොඩි කඩේ ප්‍රියන්ත හා ලක්‌ෂ්මන් යාපා හැප්පෙති

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මාතර දිස්‌ත්‍රික්‌ විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමේදී එජාප පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත ඇමැතිවරයකු ගැන චෝදනා මුඛයෙන් කථා කළේය. සර් මට අපේ ආසනයේ ඉන්න ඇමැතිවරයා එක්‌ක වැඩ කරන්න බැහැ. ඔහු වැඩ කරන්නේ අපිව පැත්තකට දමලා. ඔහු ඇමැතිකමේ බලය පෙන්වනවා චන්දන ප්‍රියන්ත කීවේය. කවුද ඇමැතිවරයා ජනාධිපතිවරයා ඇසුවේය. සර් ලක්‌ෂ්මන් යාපා ඇමැතිවරයා තමයි චන්දන කීවේය. දැන් ගංවතුර වෙනත් පැත්තකට යනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. එසේ කියූ ජනාධිපතිවරයා රැස්‌වීමේ කටයුතු අවසන් කළේය.

නාමල් චානක සහ අරුණ ගංවතුරේ අතරමං වෙති

මාතර ගංවතුර තත්ත්වයත් සමඟ ගංවතුරින් විපතට පත්වූවන්ට සහන සලසන්නට නාමල් රාජපක්‌ෂ ඩී.වී. චානක මෙන්ම දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්නද එක්‌ව සිටියහ.

පාලටුවෙන් බෝට්‌ටුවක නැඟී වටගෙදරට හා ලේන්දූවට ආහාර ගෙන යැමට පිටත්විණි පාලටුවට ගොස්‌ වටගෙදර ප්‍රදේශයේ ආහාර පාර්සල් බෙදා ලේනදූවට පිරිස යන විට රෑ බෝවී තිබුණි.

පිරිස ආපසු එන්නට පිටත්වුවද පාර සොයා ගැනීමට අපහසු වී තිබුණේ සෑම අතින්ම ගලා බසින දිය කඳ මිස පාරක්‌ තොටක්‌ නොපෙනෙන අඳුරේ පිරිස අතරමංව සිටියහ. කෙසේ වෙතත් ජී.පී. එස්‌. තාක්‌ෂණය යොදාගනිමින් පාර සොයාගෙන පිරිස ආපසු පාලටුවට එන විට රාත්‍රි එකොළහ ද පසුව තිබුණි.

-ලලිත් චාමින්ද-
දිවයින

RSL

Related Posts