ජනතාවගේ ශික්‍ෂණය, විනය සහ හැදියාව රටට අවශ්‍යයම යුගයක්‌ මේ – ජනපති

Spread the love

අද මේ රටට ඉතාමත් අවශ්‍ය වෙලා තිබෙන්නේ ජනතාවගේ ශික්‍ෂණය විනය සහ හැදියාව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා කිරිඳිවැලදී ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ කිරිඳිවැල, මිල්ලතේ මිල්ලතාකන්ද විවේක සේනාසනයේ අභිනවයෙන් ඉදි කරන ලද ශ්‍රී සීලරතන නාහිමි අනුස්‌මරණ භාවනා ශාලාව විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට පසුගිය (22 දා) පෙරවරුවේ එක්‌ වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාට අයත් පර්චස්‌ 133 ක ඉඩමක්‌ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය වෙත ප්‍රදානය කිරීමට කටයුතු කර තිබෙන අතර ඊට අදාළ ඔප්පුව ද ජනාධිපතිවරයා අතින් විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරියේ සභාපති කීර්ති වික්‍රමරත්න යන මහත්වරුන් වෙත මෙහිදී පිළිගන්වනු ලැබීය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

දැන් මම වැඩ කරන්නේ හර්ෂණ රාජකරුණා තරුණ මන්ත්‍රීතුමන් එක්‌ක. මීට කලින් අවුරුදු 25 කට 27 කට විතර එහා මම පාර්ලිමේන්තුවේදී වැඩ කළේ හර්ෂණගේ තාත්තා සරත්චන්ද්‍ර රාජකරුණා මැතිතුමත් එක්‌ක. එතුමා පිළිබඳව මට වඩා තමුන්නාන්සේලා සෑම කෙනෙක්‌ම දන්න නිසා සරත්චන්ද්‍ර රාජකරුණා මැතිතුමා පිළිබඳව මම තමුන්නාන්සේලාට කතා කිරීම කිසිසේත් අවශ්‍ය වන්නේ නැහැ. සරත්චන්ද්‍ර රාජකරුණා මැතිතුමා මගේ ඉතාමත් හිතවත් මිත්‍රයෙක්‌. අපේ හාමුදුරුවෝ අනුශාසනා කළ විදියටම බුලත් විටක්‌ කාලා බොහෝම ගැමි විදියට මේ ගැමි සුන්දර පරිසරයෙන් ගොඩනැගුණු ග්‍රාමීය පොදු ජනතාව නියෝජනය කළ දේශපාලනඥයෙක්‌ විදියට තමයි එතුමා පාර්ලිමේන්තුව තුළත් කටයුතු කළේ. ගමේ සුන්දරත්වය සමඟ ගොඩනැගුණු චරිත සුන්දරත්වයත් සමඟයි කටයුතු කළේ. එතුමා බොහෝ වෙලාවට මට කතා කළේ මල්ලි කියලා. ඒ වගේම ප්‍රදේශවාසී ඔබ කාගේත් ගෞරවයට, ආදරයට පත් වුණු මේ රටේ ආදර්ශමත් දේශපාලනඥයෙක්‌ විදියට මම ඉතාමත් සතුටු වෙනවා. එතුමා වෙනුවෙන් අද මෙවැනි උතුම් පුණ්‍ය කටයුත්තකට සහභාගි වීමට ලැබීම පිළිබඳව. අද මේ රටට ඉතාමත් අවශ්‍ය වෙලා තිබෙන්නේ ජනතාවගේ ශික්‍ෂණය, විනය සහ හැදියාවයි.

අපි භෞතික සම්පත්වලින් කොතෙක්‌ රටක්‌ දියුණු කළත් මිනිසුන්ගේ යහපත්කම, මිනිසුන්ගේ සීලාචාරකම, හැදිච්චකම, ගුණගරුක බව, ආගමික දර්ශනයන් තුළින් තමයි වර්ධනය වෙන්නේ. භාවනා මධ්‍යස්‌ථානයක ඒ වගේම භාවනා ක්‍රම පිළිබඳව බෞද්ධ දර්ශනයෙන් දෙන මගපෙන්වීම සහ උපදේශකත්වය තුළ අපි සෑම කෙනෙක්‌ම දන්නවා අපේ ජීවිත කොතෙක්‌ දුරට හැඩගස්‌වා ගන්න පුළුවන්ද කියන එක. මේ නොසන්සුන් ලෝකයේ සන්සුන් මනසක්‌ ඇතිව ජීවත් වෙන්න අද ජීවත් වෙනකොට වුවත් දුෂ්කරයි. අධි තාක්‍ෂණිකව දියුණු වෙන්න. දියුණු වෙන්න මිනිසාගේ නොසන්සුන්කම වැඩි වෙනවා. මේ තාක්‍ෂණික ලෝකය නොමැතිව මීට වඩා ලෝකයේ තිබුණු පරිසර සංවේදිතාවයන් සමඟ එදා තිබුණු පරිසරයන් තුළ මිනිසාගේ යහපත් බව හැදියාව ගුණගරුක බව තිබුණා. ඒ නිසා සමාජ තරඟකාරීත්වයට පුඣ්රුදු වී සිටින මිනිසා බොහෝ දේ ලබා ගැනීම සඳහා ධනය ලබන්න. තනතුරු ලබන්න. වෙනත් තමන්ට අවශ්‍ය දේවල් ලබන්න මේ කරන තරගයේදී ඇතිවන නොසන්සුන්තාවයත් සමඟ තමාගේ ගුණගරුක බව, යහපත්කම, හැදියාව තමන්ටම අමතක වෙනවා. ඒ නිසා මෙවැනි උතුම් පුණ්‍ය කටයුත්තක්‌ සඳහා අද මේ ගොඩනැගිල්ල පූජා කිරීම අපි කාගේත් සතුටට කාරණයක්‌ වෙනවා.

කොළඹ තිබෙන කුණු පුත්තලමේ ඈත විශාල වනාන්තර ප්‍රදේශයකට ගෙනියන්න සැලසුම් කරලා තිබෙන්නේ. දැන් ඒකටත් විරෝධය පළ කරනවා. ඒ දිස්‌ත්‍රික්‌කයේ මැති ඇමැතිවරු සේරම එහේ ගේන්නත් එපා කියනවා. එතකොට කැළිකසළ දාන්නේ කොහේද කියන ප්‍රශ්නය තියෙන්නේ. මේ වගේ කාරණාවකදී අප සෑම කෙනෙක්‌ම ප්‍රශ්නයකට විසඳුමක්‌ සමග තමයි අපි විරෝධය පළ කරන්නට ඕනෑ. අඩු වශයෙන් ගම්පහ දිස්‌ත්‍රික්‌කය ගත්තොත් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ කැළිකසළ දාන්නේ කොතනද කියන එක ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ වගකිව යුතු සියලු දෙනා තීන්දු කරන්න ඕනෑ. කොළඹ දිස්‌ත්‍රික්‌කය ගත්තහම කොළඹ දිස්‌ත්‍රික්‌කයේ කැළිකසළ දාන්න අද අලුත් තාක්‍ෂණික තත්ත්වයන් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ කාබනික පොහොර නිෂ්පාදනය එහෙම නැත්නම් බලශක්‌ති නිෂ්පාදනය මෙවැනි කාර්යයක්‌ සඳහා තමයි යොමු විය යුත්තේ. ඒ නිසා රට වශයෙන්ම අපි ක්‍රියාත්මක කරන්නේ මේ කැළිකසළ ප්‍රශ්නයේදී එවැනි නව තාක්‍ෂණික ක්‍රම උපයෝගි කර ගෙන කැළිකසළ කළමනාකරණය සම්බන්ධයෙන් අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා.

මම සති දෙකකට සැරයක්‌ මේ කැළිකසළ කළමනාකරණය සම්බන්ධයෙන් තිබෙන ප්‍රධාන කමිටුව රැස්‌ කරලා එහි ප්‍රගති සමාලෝචනයන් කරනවා. මීට කලින් කිසිම කාලයක රජයක්‌ ඒ සඳහා ප්‍රමුඛත්වය දීලා තිබුනේ නැහැ. ඒ නිසා මෙවැනි කරුණුවලදී අපි කාගේත් සහයෝගය ලබාගෙන ඒ ප්‍රශ්න විසඳීම සඳහා කටයුතු කිරීම අවශ්‍ය වෙන නිසා පරිසරයේ තිබෙන වැදගත්කම තේරුම් අරගෙන කටයුතු කිරීම අවශ්‍යයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා (එජාප) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපති ධුරයට පත්වන විට රට හමුවේ අභියෝග රාශියක්‌ තිබුණා. ආර්ථිකය කඩා වැටී තිබුණා. ජාත්‍යන්තරය හමුවේ අපි කොන් වී සිටියා.

අද අපි ඒ සියලු අභියෝග ජය ගෙන තිබෙනවා. ආර්ථිකය හොඳ තත්ත්වයට පත් වී ජාත්‍යන්තරය මිතුරු වී තිබෙනවා. වසර දෙකක්‌ තුළ අපට මේ අභියෝග ජය ගැනීමට හැකි වුණා.

වසර දෙකක්‌ තුළ අපට මේ දේවල් කරන්න හැකි වුණා. ශක්‌තිමත් අඩිතාලමක්‌ අද ආණ්‌ඩුවට, රටට තිබෙනවා. ඒ අඩිතාලම මතින් රට දියුණුව කරා ගෙන යන්න අපට පුළුවන්. හැම අතින්ම අපි අද දියුණු වෙමින් සිටිනවා.

RSL

Related Posts