ජනපති මෛත්‍රී මීලඟ ඉලක්කයට සැරසෙයි

Spread the love

මැතිවරණ වර්ෂයක් වන මෙම වසරේ දේශපාලනඥයන් තම තම මැතිවරණ සටන්වල නිරතව සිටින අතරතුර, රටක් ලෙස අප මෙම වසරේ ඉටු කරගත යුතුම අරමුණක් වන මෙරට ආර්ථීක වර්ධන වේගය ඉහළ නංවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙම වර්ෂය මෙරට ආර්ථීකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කර ගැනීමට එකට එක්වන ලෙස ජනාධිපතිවරයා සමස්ත රාජ්‍ය සේවයට ආරාධනා කරයි.

එසේ නොවුණහොත් රටක් ලෙස ආර්ථීක වශයෙන් අපට මුහුණ දීමට සිදුවන්නේ ඉතා කණගාටුදායක තත්ත්වයකට බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මැතිවරණ ව්‍යාපාර හේතුවෙන් කිසි විටෙකත් සංවර්ධනය සහ මහජන සේවාවන් අඩ පණ නොවිය යුතු බව ද අවධාරණය කළේය.

එමෙන්ම රට මුහුණ දී ඇති ව්‍යසනයන්ගෙන් ජනතාව ගලවා ගනිමින් යහපත් සමාජයක් සහ නීතිගරුක රටක් ගොඩනැඟීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ ද කිසිසේත් පසුබෑමකට ලක් නොකළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේ ය.

අද (11) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විශේෂ හමුවක් අමතමින් ජනපතිවරයා මේ බව පැවසීය.

අද දවසේ අපේ සමාජයේ තිබෙන දැවැන්තම මානව වාදී අර්බුදය දිළිඳුකම බවත්, අද අප ග්‍රාමශක්ති ව්‍යාපාරය සම්බන්ධයෙන් කථා කරනුයේ දශක තුනක නිහැඬියාවෙන් පසුව බවත්, ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය රටේ තිබෙන සාපේක්ෂ දුගීභාවය නැති කිරීම සඳහා ක්‍රියාත්මකවන වැඩ පිළිවෙළක් බවත් එම උත්සව සභාව ඇමතූ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක සඳහන් කරසිටියේය.

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති ග්‍රාමශක්ති ජාතික වැඩසටහන සහ ඒ ආශ්‍රිතව පොදු ජනතා සුබසිද්ධිය උදෙසා ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘතිවලට අදාළ 2019 ඉලක්ක පිළිබඳ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් මෙම හමුව කැඳවා තිබිණි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් රැසක් සහ ආණ්ඩුකාරවරුන් මෙන්ම දැනට ක්‍රියාත්මකවන පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරු, සියලූ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය නිලධාරිහු මෙම හමුවට එක්ව සිටියහ.

ග්‍රාමීය දරිද්‍රතාවය පිටුදැකීමේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය අද සාර්ථකව දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබේ.

නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් දුගීබව තුරන් කර ස්වශක්තියෙන් නැගී සිටින පුද්ගලයෙකු නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ විශේෂත්වය වන අතර මේ වසරේදී එය තවදුරටත් පුළුල් කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි.

එම අරමුණ පෙරදැරිව මෙම පෙබරවාරි 18 වනදා සිට 24 වනදා දක්වා සතිය ග්‍රාමශක්ති ජාතික සතිය ලෙස ද ප්‍රකාශයට පත් කොට තිබේ.

RSL

Related Posts