ජනපති නියෝගයෙන් රුසියන් සැප සොයා යන්න ගිය මන්ත්‍රීවරුන්ගේ සංචාරයක් නවතී
- RSL
- August 20, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Maithripala Sirisena, President Maithripala Sirisena, Uva
- 0 Comments
ඌව පළාත් සභාව දැඩි මූල්‍ය අර්බුදයක පවතිද්දී ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සියලූ දෙනාම රුසියාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කළ අතර එම සංචාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් නතරවී ඇතැයි ඌව පළාත් සභාවේ සභා නායක මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා ඊයේ (19) පැවසීය.
රුසියාවේ සංචාරයක නිරතවීමට ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 34 දෙනාම සැලසුම් කළද ඌව පළාත් සභාව මේ වන විට මුහුණපා ඇති දැඩි මූල්‍ය අර්බුදකාරී තත්ත්වය මත මෙම සංචාරයේ නිරත වීමට ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු දෙදෙනා කටයුතු නොකළහ. සභාවේ දැඩි මුදල් අහේනියක් තිබියදී සෙසු මන්ත්‍රීවරුන් තිස් දෙදෙනා එතෙර සංචාරයක නිරත වීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා දැඩි විරෝධය දැක්වූහ.
රුසියාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනය කිරීම සඳහා සංචාරය සැලසුම් කළද මේ වන විට ඌව පළාත් සභාවේ ඇති මූල්‍ය අර්බුදය නිසා මෙම අධ්‍යයනය අවශ්‍යම නම් මාර්ග ඇමැතිවරයා ඇතුළු නිලධාරීන් කීප දෙනකු පමණක් සංචාරයේ යොදවන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු දෙදෙනා පසුගිය දින කීපය තුළම දැඩි සටනක නිරත වූහ.
රුසියාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනය ඌව පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨයකු විසින් සැලසුම් කළ අතර මේ වන විට මෙම සංචාරය නතර කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දීම නිසා කිසිදු මන්ත්‍රීවරයෙකු මෙම සංචාරයේ නොයෙදන බව සභානායක මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා කියා සිටියේය.

