රට සංවර්ධනය කරා ගෙන යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි

Spread the love

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ සමානාත්මතාවය සමග රට සංවර්ධනය කරා ගෙන යාමට රටට ගැළපෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පසුගිය වසර හතර හමාරෙන්, වසර හතරක්ම කෝටි ගණන් මුදල් වැය කරමින් මැති ඇමතිවරු සහ ආණ්ඩුක‍්‍රම විශාරදයින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම අධ්‍යයනය කිරීමට විදේශ සංචාරවල නිතරවුව ද ඉන් රටට ලැබුණු ප‍්‍රතිඵලයක් නොමැති බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන් සිදු කළේ උතුරේ ජනතාව රැවටීම සහ දකුණේ ජනතාව අතර වෛරය පැතිරවීම පමණක් බව ද කියා සිටියේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා (30) පස්වරුවේ යාපනයේ මුත්තවේලි නගර සභා කී‍්‍රඩාංගණයේ පැවති “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනේ යාපනය දිස්ති‍්‍රක් සමාප්ති උත්සවය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරණයක් ගැන කතා කළ ද මෙම වරද නිවැරදි කර ගැනීමට තවමත් පවතින ආණ්ඩුවට කාලය තිබෙන බවයි.

2020 බලයට පත්වන ආණ්ඩුවකට රට කරගෙන යාමට නම් එම වගකීම පවතින ආණ්ඩුව විසින් ඉටුකළයුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා, එම වගකීම ඉටුකිරීමට එක්වන ලෙස තමා ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද ආරාධනා කරන බව පැවසීය.

පාර්ලිමේන්තුව මෙම ගැටලූව විසඳිය යුතු අතර ඊට තම උපරිම සහය ලබාදෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ 19 වන සංශෝධනය හරහා අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් රටේ බලය තිබෙන නායකයන් තුන්දෙනෙක් නිර්මාණය කර තිබෙන බවයි. ජනාධිපතිවරයාගේ බලයෙන් කොටසක් ගෙන කොටසක් ඉතිරි කර තිබෙන අතර, අගමැතිවරයාට බලය වැඩි කර, කථානායකවරයාට තවත් බලය දී තිබෙන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. නායකයන් තුන්දෙනෙකුට රටක් කරගෙන යා නොහැකි අතර රට අවුලට පත්වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටන පසුගිය 23 වනදා යාපනය දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරුණු අතර දිස්ති‍්‍රක්කයේ සියලූ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් ජනතා සුබසාධන වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක විය. දිස්ති‍්‍රක්කයේ ජීවත්වන හයලක්ෂ පහළොස් දහසකට අධික ජනතාව අතරින්, හාරලක්ෂ පනස්දහසකට අධික ජනතාවක් එම වැඩසටහන සමඟ එක්ව සිටී අතර ව්‍යාපෘති 5900ක් වෙනුවෙන් වැය කළ මුදල රුපියල් කොටි 50කට අධිකය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන වැඩසටහනේ තවත් විශේෂ වැඩසටහනක් ලබන මාසයේ දී දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවන බවයි.

පසුගිය යුද සමයේ දී ආරක්ෂක අංශ වෙත පවරා ගත් ඉඩම් නැවත එම ජනතාවට ලබාදීමට රජය ආරම්භ කළ වැඩසටහන පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ එම ඉඩම් සියයට 95ක් මේ වන විට නිදහස් කර තිබෙන අතර ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් ඉතිරි ඉඩම් ප‍්‍රමාණය ද ලබන මාසය වන විට සම්පූර්ණයෙන් නිදහස් කිරීමට තමා ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට උපදෙස් දී තිබෙන බවයි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තමා උතුරට මෙන්ම රටටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ සාමය ලබාදී තිබෙන බවයි.

කවුරුන් කුමන විවේචන සිදු කළ ද ආණ්ඩුවේ තුවක්කුවක් දේශපාලන හේතුන් මත කිසිවෙකුට එල්ල නොවූ එකම යුගය තම පාලන කාලය බව සිහිපත් කළ ජනාධිපතිවරයා තමන් ඉදිරියට ද එම නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සාමය සහ සමානාත්මතාවය සඳහා කැපවී සිටින බව සඳහන් කළේය.

උතුරේ ජනතාව වෙනුවෙන් තවත් ප‍්‍රතිලාභ රැසක් බෙදාදීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සංකේතවත් කෙරිණි.

RSL

Related Posts