ජනපතිගේ ලන්ඩන් සංචාරයේ දූත පිරිස පිළිබඳ පැතිර යන වාර්තා අසත්‍යය බව මාධ්‍ය අංශය කියයි

Spread the love

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිවරයා සමඟ සහභාගී වූ නිල දූත පිරිස පිළිබඳව විවිධ අසත්‍ය තොරතුරු වාර්තා වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ නිල දූත පිරිසට එක්වූයේ ජනාධිපති බිරිඳ, ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා, අමාත්‍ය තිලක් මාරපන මහතා සහ ඔහුගේ බිරිඳ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, භාෂා පරිවර්තක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

තවද නිල දූත පිරිසට අයත් නොවූවත් ජනාධිපති මාධ්‍ය අංශයේ විද්‍යුත් හා මුද්‍රිත වාර්තාකරුවන් සහ රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ද ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිපදෙනෙක් ද මීට එක්ව සිටිති.

ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට හෝ ඊට සමගාමීව පැවති වෙනත් කිසිඳු හමුවකට ජනාධිපති කාර්යාලයේ වියදමින් කිසිදු පුද්ගලයෙක් සහභාගී වී නොමැත.

මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් යන මහත්වරුන් සහභාගී වී ඇත්තේ ආර්ථික සමුළුවට බව ද දන්වා සිටින අතර එම ආර්ථික සමුළුව නියෝජනය කළ කිසිදු පාර්ශ්වයකට ජනාධිපති කාර්යාලය වියදම් දරා නැත.

එබැවින් ඇතැම් මාධ්‍යවල සියයකට අධික දූත පිරිසක් සහභාගී වන බවට පළවන මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කර සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

RSL

Related Posts