ජනපති ගෝඨාභයගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක ණයක්

Spread the love

සාර්ථක දැක්මක් සහිත ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

ඒ අනුව සහන ණය ප‍්‍රදානයක් ලෙස ඩොලර් මිලියන 400ක මුදලක් කඩිනමින් ශ‍්‍රී ලංකාවට පිරිනැමීමට කි‍්‍රයාකරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

තවද ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීමට තවත් ඩොලර් මිලියන 50ක සහන ණයක් ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා කීය.

අද(29) දහවල් හයිදරබාද් මන්දිරයේ දී පැවති දෙරටේ රාජ්‍ය නායකයන් අතර හමුවේ දී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තම ආරාධනය පිළිගෙන සිය ප‍්‍රථම විදේශ රාජ්‍ය චාරිකාව සනිටුහන් කරමින් ඉන්දියාවට පැමිණීම අසල්වාසි රාජ්‍ය ලෙස තම රටට දැක්වූ ගෞරවයක් ලෙස සලකන බව පැවසූ මෝදි මැතිතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබාගත් විජයග‍්‍රහණය පිළිබඳව සිය සතුට පළ කරමින් සමස්ත ඉන්දීය ජනතාවගේම සුභාශීංසන ජනාධිපතිවරයා වෙත පිරිනමන බව ද සඳහන් කළේය.

දෙරට අතර දිගුකාලීන මිත‍්‍රත්වය ආර්ථික, දේශපාලන හා සමාජයීය වශයෙන් ඉදිරියට රැගෙන යාමට දෙරටේ නායකයෝ එකඟ වූහ.

දෙරටේ ආරක්ෂාව ප‍්‍රමුඛතාව ලෙස සලකා කි‍්‍රයාකිරීමට රාජ්‍ය නායකයන් දෙදෙනා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

දෙරට අතර සමීප ආර්ථික සහයෝගිතාවයකින් කි‍්‍රයාකිරිම පිළිබඳව ද නායකයන්ගේ විශේෂ අවධානය යොමු විය.

ද්විපාර්ශ්වික වෙළෙදාම වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඔවුහු අවධාරණය කළහ. දිගුකාලීන ගැටලූවක්ව පැවති ඉන්දු-ශ‍්‍රී ලංකා ධීවර ක්ෂේත‍්‍රය ආශි‍්‍රත ගැටලූ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

ශ‍්‍රී ලංකාවේ සංහිඳියා කි‍්‍රයාමාර්ගය අඛණ්ඩව ගෙන යනු ඇතැයි විශ්වාසය පළ කළ මෝදි මැතිතුමා උතුරු නැගෙනහිර ඇතුළු සියලූ පළාත්වල සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට ඉන්දියාවේ රාජ්‍ය චාරිකාවකට ආරාධනය කිරීම පිළිබඳව සිය ස්තූතිය පළ කළ අතර, ඉන්දීය අග‍්‍රමාත්‍යවරයාට ද ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ඇරයුම් කළේය.

ඉන්දියාව සමඟ සමීප ආර්ථික සහයෝගිතාවයකින් කි‍්‍රයාකරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සමඟ පැවසිය.

සාකච්ඡාවලින් අනතුරුව නායකයන් දෙපළ මාධ්‍ය වෙත සිය අදහස් පළ කළහ.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැන්වූ දිවා භෝජන සංග‍්‍රහයට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හයිදරබාද් මන්දිරයේ තබා ඇති විශේෂ ආරාධිත අමුත්තන්ගේ ග‍්‍රන්ථයේ සමරු සටහනක් ද තැබීය.

RSL

Related Posts