පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන බුද්ධි අංශ ලිපි මට ලැබුණේ නෑ; ගිය ඔක්තෝබර් සිට ජනාධිපතිවරයා මාව ආරක්‍ෂක කවුන්සිලයට කැදෙව්වෙත් නෑ..

Spread the love

පාස්කු ඉරු දින ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට ජාතික හා රාජ්‍ය බුද්ධි සේවා යොමු කළ ලිපි තමන්ට හෝ අග‍්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට ලැබී නොතිබුණු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. ‘‘එහෙම ලිපි ලැබිලා තිබුණේ නැහැ.අගමැති ආරක්ෂක අංශයටවත් ලැබිලා තිබුණේ නැහැ. එහෙම ලිපියක් ලැබිලා තිබුණා නම් මම අඩු තරමින් පොලිසියෙන් හරි අහල බලනවා,” යැයි අගමැතිවරයා මෙහිදී පැවසීය.

අගමැතිවරයා ඒ බවක් ප‍්‍රකාශ කළේ, පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ (06) සාක්ෂි දෙමිනි.

අන්තවාදී ඉස්ලාම් සංවිධානවලට සහාය දක්වන පිරිස් සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක මණ්ඩලයේදී විටින් විට වාර්තා ලැබුණු බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. කට්ටියක් සිරියාවට ගිහින් ආව බවට තොරතුරු ලැබිලා තිබුණා. ඒ ගැන හොයන්න බුද්ධි අංශවලට උපදෙස් දුන්නා යැයිද එහෙත්, ඔවුන් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට යොමුවී සිටි බවට තොරතුරු ලැබී නොතිබුණු බව ද අගමැතිවරයා පැවසීය.

2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට තමන්ට ආරක්ෂක කවුන්සිලයට ආරාධනා නොලැබුණු බවත් ඇතැම් තොරතුරු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් ලබා ගත් බවත් අගමැතිවරයා පැවසීය.

මේ අතර, පසුගිය වසරේ ඔක්තෝබර් මාසය වන තෙක් මසකට පමණ වරක් ආරක්ෂක කවුන්සිලය රැස්වූ බවත් එය ජනාධිපතිවරයාගේ කැඳවීම මත පැවැත්වූ බවත් අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.

2018 වසරේ ඔක්තෝබර් මාසයේ ඇති වූ අර්බුදයෙන් පසු අග‍්‍රාමාත්‍යවරයා ලෙස යළි දිවුරුම් දීමෙන් පසු සම්ප‍්‍රදායානුකූලව ආරක්ෂක හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා හමුවූයේ ද යන්න මහාචාර්ය ආශු මාරසිංහ මහතා ප‍්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ, පොලිස්පතිවරයා පමණක් තමන් මුණ ගැසුණු බවය.

RSL

Related Posts