ජාමේ බේරාගෙන, කාලේ කා දමන රනිල්ගේ සූත්තරේ..

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ අසහාය නායක සහ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ ඒ මොහොතේ තම දේශපාලන ගැලවිජ්ජාව සඳහා ඒ ඒ ආකාරයේ විවිධ කතා සහ බොරු ගොතන බව රනිල්ගේ දේශපාලනය හඳුනන්නෝ හොඳින් හඳුනති.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාවද්‍ය ප්‍රකාශ සිදු කරන බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල ඊයේ (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උදය ගම්මන්පිල මෙසේද පැවසීය.

“ජාතික තෛපොංගල් උත්සවය අමතමින් අගමැතිතුමා අලි බොරුවක් කිව්වා.  නව ව්‍යවස්ථාවෙන් පොලිසිය කෑලි වලට කැඩෙන බවට මාධ්‍ය වාර්තා කර තිබුණත් ඒක බොරුවක්ලු.  අගමැතිතුමනි, මෙතෙක් ඉදිරිපත් කළ විවිධ වාරතා කැටි කර විද්වතු කමිටු වාරතාව කියලා එකක් ඔබතුමා විසින් පසුගිය 11දා පාරලිමේන්තුවට ඉදිරිපත් කළා.  ඒ වාරතාවේ 185 පිටුවේ ශ්‍රී ලංකා පොලිසිය ජාතික පොලිසියෙන් සහ පළාත් බද පොලිසි නවයකින් සමන්විත වේ කියා තිබෙනවා.  

එම වාරතාවේ 259 ඡේදයේ ජාතික පොලිසියට විර්මශන කළ හැකි වැරදි 15ක් හඳුන්වා දී තිබෙනවා.  අනෙකුත් සියළුම වැරදි විර්මශනය කරන්නේ පළාත්බද පොලිසියෙන්.  ඒ බව ඉතාම පැහැදිලිව 284 ඡේදයේ දක්වා තිබෙනවා. 

අගමැතිතුමා දැන් කතා කරන දේවල් අනුව පේන්නේ එතුමා ඉදිරිපත් කළ වාරතාව අඩුම ගණනේ එතුමාවත් කියවා නැති බවයි.  අගමැතිතුමනි, සුමන්තිරන් මන්ත්‍රිතුමා දෙන හැම දෙයක්ම ඒ අයුරින්ම පාරලිමේන්තුවට ඉදිරිපත් කරන්න එපා.  පොඩ්ඩක් කියවලා බලන්න.  

නැතිනම් සුමන්තිරන් මන්ත්‍රිතුමා තමයි සැබෑ අගමැති.  ඔබතුමා එතුමාගේ ප්‍රකාශක පමණයි කියලා ජනතාවට දැනේවි. ඒ වගේම මෙවැනි ප්‍රකාශවලින් අලි අමාරුවක වැටෙන්නේ ඔබත් ආණ්ඩුවත් පමණක් නොව අපි හැමෝගෙම මේ මව්බිමයි කියන එකත් අපි අගමැතිතුමාට මතක් කර දෙනවා.

අද ලංකාවට කේරල ගංජා එන්නේ උතුරු පළාත හරහා බව කාටත් නොරහසක්.  ඒ වගේම ගංජා ජාවාරම සිදු වෙන්නේ දෙමළ සංධානයේ මන්ත්‍රිවරුන්ගේ අනුග්‍රහයෙන් බව පසුගිය දා පලෙයි ප්‍රදේශය කළ වැටලීමට දෙමළ සංධානයේ මන්ත්‍රිවරු පොලිසියට කළ බලපෑමෙන් තහවුරු වුණා.  එවැනි පසුබිමක පොලිස් බලතල පළාත් සභාවට දුන්නොත් රටම මත් රකුසාට බිලි වීම කාටවත් වලක්වන්න බෑ.

විග්නේශ්වරන් වැනි අන්තවාදි මහ ඇමතිවරයෙකු යළි පත් වුවහොත් යළිත් බෙදුම්වාදි යුද්ධයක් ඇති වීමේ අනතුරක් තිබෙනවා. වාසනාවට විග්නේෂ්වරන් මහ ඇමති ධුරයේ කටයුතු කළ වසර පහෙන් වසර තුනකට ආසන්න කාලයක් ගත වුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් යටතෙයි. ඒ නිසා කොටි පැටියා පූස් පැටියෙක් වගේ හිටියා. 

එජාප ආණ්ඩුව ආවා විතරයි කොටියා පුල්ලි මතු කරන්නත් ගොර වන්නත් පටන් ගත්තා. ඒ එක්කම පළාත් සභාවේ කාලයත් අවසන් වුණා. නමුත් පොලාස් බලතල ලබාදී සිටියදී විග්නේශ්වරන් වැනි අන්තවාදියෙකු උතුරේ මහ ඇමති වුව හොත් උතුරේ යලි යුද්ධයක් ඇති වුව හොත්    එදාට යුද්ධය ඇති වෙන්නේ ශ්‍රී ලංකා හමුදාව සහ ත්‍රස්තවාදින් අතර නොව ශ්‍රී ලංකා හමුදාව සහ උතුරේ පොලිසිය අතරයි. 

එවිට ශ්‍රී ලංකා හමුදාවත් නීත්‍යානුකූලයි උතුරේ පොලීසියත් නීත්‍යානුකූලයි. ඉන්දියාව ත්‍රස්තවාදින්ට අවි සැපයුවේ හොරෙන් හොරෙන්.  නෝරවේ පුහුණුව සැපයුවේ හොරෙන්. හොරෙන්.  නමුත් උතුරේ යුද්ධය කරන්නේ නීත්‍යානුකූල පොලිසිය නම් විදේශීය බලවේග වලට එලිපිටම ඒ අයට සහය දක්වන්න පුළුවන්.  

ඒ නිසා පොලිසිය කෑලි දහයකට කඩලා මේ රට යළි ගොඩ පැමිණිය නොහැකි වලකට ඇද දමන්න එපා කියා අපි අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.“
 

RSL

Related Posts