මෛත්‍රී-රනිල් සත්‍යවාදී නම්, යහපාලනය යුක්තිගරුක නම්; ෆිල්ඩ් මාෂල්ට නිසි බලය දෙනු!

Spread the love

වත්මන් යහපාලන රජයේ ප්‍රධානීන් දෙදෙනා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ නිතිය හා සාමය සහ අධිකරණය යන අමාත්‍යාංශ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදිය යුතු බවට මේ වන විට ජනමතයක් නිර්මාණය වී තිබේ.

2015 ජනාධිපතිවරණයේ, මහ මැතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක් සහ ඉල්ලීමක් බවට පත්වූයේ රාජපක්ෂ රෙජීමයේ අයවලුන් විසින් සිදුකළ සොරකම් සහ අපරාධ සොයා එම අපරාධකරුවන්ට දඩුවම් ලබාදෙන බවට වූ පොරොන්දුවයි. එහෙත් වත්මන් යහපාලන රජය පත්වී වසර තුනක් ඉක්ම ගොස් තිබුණද එම පොරොන්දුව ඉටුකිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇත. එය ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය ගිලිහී යෑමට ප්‍රධාන කරුණක් බවට පත්ව ඇත.

නිතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සාගල රත්නායක රාජපක්ෂවරුන්ගේ ඥාති සම්බන්ධයක් ඇත්තෙකු වන අතර ගෙවී ගිය වසර තුනහමාර ඇතුලත ඔහු විසින් අල්ලන ලද හොරකු හෝ දඬුවම් කළ අයෙකු නොමැත. වත්මන් රජයේ අමාත්‍යවරුන් ඇතුළු ප්‍රබලයින් රාජපක්ෂවරුන් සමග ඩීල් දැමීම ප්‍රසිද්ධ රහසක් වන අතර එය වත්මන් ආණ්ඩුවේ ජනප්‍රසාදය පිරිහීමට ප්‍රධාන හේතුවක් වූ බවට පැහැදිලිය.

මෙම තත්වය තුළ සිදුවන කැබිනට් සංශෝධනයේදී නිතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත් කරන ලෙසට දැවැන්ත සමාජ මතවාදයක් ගොඩ නැගී ඇත. එම ජන මතයට අනුව දූෂකයින්ට වංචාකරුවන්ට එරෙහිව වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අවංක හා සත්‍යවාදී ලෙස කටයුතු කරන බවට ඔප්පු කර පෙන්වීම සඳහා නිතිය හා සාමය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදිය යුතු බව ජනතා මතයයි.

එසේම මේ සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තමාට මෙම අමාත්‍යධූරය සහ නිසි බලය නිසි පරිදි ලබා දෙන්නේ නම් මාස හයක් ඇතුළත සියලු අපරාධකරුවන්ට දඬුවම් ලබාදෙන බවට වන සහතික සහ වගකීම තමන් විසින් භාරගන්නා බවයි.

එසේනම් වත්මන් යහපාලන ආණ්ඩුව ජනතාව හමුවේ තමන්ගේ පාරිශුද්ධත්වය පෙන්වීම සඳහා කදිම අවස්ථාවකි. මෙය ඉටුවේදැයි අප ජනමතය සමඟ යහපාලන ආණ්ඩුව දෙස බලා සිටිමු.

RSL

Related Posts