අද සිට කිසිදු බාධාවකින් තොරව පෙට්‍රල්

Spread the love

අද (10) සිට කිසිදු බාධාවකින් තොරව පෙට්‍රල් ලබා ගත හැකි බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

පෙරේදා (8) රාත්‍රියේ ශ්‍රී ලංකා මුහුදේ නැංගුරම් සීමාවට ළඟා වූ නෙවෙස්කා ලේඩි ඉන්ධන නෞකාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 32500ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7500ක් ද අඩංගු බව ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා ‘ දිනමිණ’ සමඟ පැවසීය.

නෙවෙස්කා ලේඩි නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ළඟාවීම වැළැක්වීම සඳහා කඩාකප්පල් ක්‍රියාවක් සිදු කරනු ඇතැයි විශාල සැකයක් පැතිර තිබූ බැවින්, නෞකාව සමඟ දිගින් දිගටම සම්බන්ධ වෙමින් සහ සැටලයිට් පින්තූර පරීක්ෂා කරමින් නෞකාවේ ගමන් මඟ පරික්ෂා කරන්න ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි . ශ්‍රී ලංකා මුහුදේ නැංඟුරම් සීමාවට පැමිණි වහාම ඊට ආරක්ෂාව සැපයීම සඳහා නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාවක්ද ශ්‍රී ලංකා මුහුදේ නැංඟුරම් සීමාවේ වූ බව අමාත්‍යාංශය සඳහන් කරයි.

රාත්‍රී කාලයේ දීම සාම්පල් රැස් කිරීමේ සහ තත්ත්ව පරීක්ෂා කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරීන් කටයුතු කළ අතර අලුයම නෞකාව මුතුරාජවෙල බෝයාව වෙත ගමන් කර ඇත. නෞකාවේ ඉන්ධන නළ බෝයාව සවි කිරීම එම මොහොතේම සිදු කරමින් උදෑසන 7.30 වන විට මෙහෙයුම අවසන් කිරීමට හැකි වී තිබේ.

Tags: