හදිසියේ පුද්ගලයින් 2717 ක් අත්අඩංගුවට

Spread the love

ඊයේ(01) මධ්‍යම රාත්‍රියේ සිට අද(02) අලුයම දක්වා දිවයින පුරා සිදුකරනු ලැබු විශේෂ පොලිස් මෙහෙයුමක් මඟින් පුද්ගලයින් 2717 අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ පොලිස් මුලස්ථානය මඟින් මෙය සිදු කර තිබේ.

මෙම මෙහෙයුම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරි ශ්‍රේණි නිලධාරීන්, පරීක්ෂක ශ්‍රේණි නිලධාරීන් හා සෙසු නිලධාරීන් ඇතුළු නිලධාරීන් 13092 සහභාගී කර ගන්නා ලද අතර පොලිස් නිලධාරීන්ට අමතරව විශේෂ පරීක්ෂා කිරිම් සඳහා නිල සුනඛයින් ද යොදා ගෙන ඇති බව සඳහන් වෙයි.

මෙම විශේෂ මෙහෙයුම තුළ පුද්ගලයින් 1056 දෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර ක්‍රියාත්මක කරන ලද සම්පූර්ණ වරෙන්තු සංඛ්‍යාව 651 බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

කෙසේ වෙතත් මෙම මෙහෙයුම තුළින් අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවන් 17ක් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් හා මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධව පුද්ගලයින් 359 ක් හා නීති විරෝධී මත්පැන් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 258 ක් අත්අඩංගුවට ගෙන ඇත.

RSL

Related Posts