ප්‍රධානියා නියෝග කළ නිසා නව හැඳුනුම්පත නිකුත් කළා

Spread the love

සැකකාර ශෂි වීරවංශ මහත්මිය ප්‍රථම වරට ජාතික හැඳුනුම්පතක්‌ ලබාගත යුතු වයස අවුරුදු 16 ට බෙහෙවින් වැඩි තැනැත්තියක බව පෙනී ගියත් සිය ප්‍රධානියා වන කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් කරන ලද නියෝගය අනුව ඇයට නව හැඳුනුම්පතක්‌ එක්‌දින සේවය යටතේ කඩිනමින් නිකුත් කිරීමට පියවර ගත් බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බලලත් නිලධාරි ප්‍රභාත් රාඡේන්ද්‍ර පෙරේරා මහතා ඊයේ (07 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේදී සාක්‌ෂි දෙමින් පැවසීය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මියට එරෙහිව කටයුතු කරනුයේ විමල් වීරවංශ මහතා පවත්තා රජයට එරෙහිව කටයුතු කිරීම නිසා ඔහු මර්දනය කිරීමේ අරමුණින් බවට විත්තිය කරනා යෝජනාව තමන් තරයේ ප්‍රතික්‌ෂේප කරන්නේ යෑයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප මහතා විසින් අසන ලද හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර සකස්‌ කරගත් ජාතික හැඳුනුම්පතක්‌ උපයෝගී කරගනිමින් විදේශ ගමන් බලපත්‍රයක්‌ සකස්‌ කර ගැනීම ඇතුළු චෝදනා යටතේ ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‌ෂි විභාගය ඊයේ (07 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් රණසිංහ බණ්‌ඩාර මහතා ඉදිරියේදී පැවැත්විණි.

එහිදී සාක්‌ෂිකරු වැඩිදුරටත් පැවසුවේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ජගත් පී. විඡේවීර මහතා සැකකාරියට එලෙස එක්‌දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පතක්‌ ලබාදීමට පියවර ගන්නා ලෙසට නිර්දේශ කළ බවයි.

එම නඩුවේ වැඩිදුර විභාගය ලබන පෙබරවාරි 6 වැනිදා දක්‌වා කල්තැබීමට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා එදිනට පැමිණිල්ල වෙනුවෙන් සාක්‌ෂි දීම සඳහා පෙනී සිටින ලෙස සාමය හා නීතිය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විඡේවීර මහතා ඇතුළු සාක්‌ෂිකරුවන්ට අවවාද කළේය.

RSL

Related Posts