‘Online මත්පැන් අලෙවියට‘ යුද හමුදාපතිගේ අවසර නෑ

Spread the love

සුපිරි වෙළෙඳසල් හරහා මත්පැන් මාර්ගගත ක්‍රමයට  ලබාදීමේ වැඩපිළිවෙළට  අවසර ලබා නොදෙන බව කොවිඩ් 19  පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානයේ  ප්‍රධානී යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

මේ අතර කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඊයේ (16) මාතර දී පැවසුවේ මේ වෙලාවේ මත්පැන් අත්‍යාවශ්‍ය නොවන දෙයක් බවත් ඔන්ලයින් හෝ මොන ක්‍රමයට මත්පැන් දුන්නත් තමා ඊට විරුද්ධ බවයි.

විශේෂයෙන්ම ගම්මානවල නීති විරෝධී මත් පැන් ජාවාරම ඉහළයාමට පිළියමක් ලෙස නව ක්‍රමය හදුන්වා දෙන්නේ නම් තමා පුද්ගලිකව ද විරුද්ධ බව ඇය සදහන් කළා.

මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසල්වලට  අවසරය ලබා දෙන්නැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා  මුදල් අමාත්‍යාංශයෙන්  පසුගියදා ඉල්ලීමක්  කළ අතර ඒ සදහා ඊයේ (16) මුදල් අමාත්‍යාංශයෙන් අනුමැතිය හිමි වූ බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් කාර්යාලය නිවේදනය කළා.

සංචාර නීති ක්‍රියාත්මකවන මේ කාලසීමාවේදී  මත්පැන් ඔන්ලයින් ක්‍රමයට සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත්  එය  කොරෝනා පාලන වැඩසටහනට විශාල බාධාවක් බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු  වෛද්‍ය ක්ෂේත්‍රයේ  විශාල පිරිසක් රජයට දැනටමත් කරුණු පෙන්වා දුන් අතර ජනතාව මෙම යෝජනාව දැඩිව විවේචනය කළා. විශේෂයෙන් මේ හරහා මත්පැන් ජාවාරමක් ඇති වන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

Related Posts