උතුරෙන් රෙජිනෝල්ඞ්ව ඉල්ලයි

Spread the love

සිංහල ද්‍රවිඩ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට නායකත්වය ලබා දෙමින් දකුණේ ජනතාව උතුරට ගෙන යමින් උතුරේ ජනතාව දකුණට රැගෙන යමින් ජාතීන් අතර සමගිය ඇති කිරීමට ඉමහත් නායකත්වයක් ලබාදුන් රෙජිනෝල්ඞ් කුරේ උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් නැවතත් පත් කරන ලෙස යාපනය සිංහ සමාජයේ සභාපති කිරුබාකරන් කිළිනොච්චියේ පැවති උද්ඝෝෂණයකදී පැවසීය.

එම උද්ඝෝෂණකරුවන් රෙජිනෝල්ඞ් කුරේ නැවත පත් කරන ලෙස ද්‍රවිඩ ජනතාවගේ අත්සන් සහිත පෙත්සමක් කිළිනොච්චි දිසාපති එස්. ආරුමනායහම් භාරදුන් අතර වැඩිදුරටත් අදහස් දක්වමින් කිරුබාකරන් මෙසේ පැවසීය.

සිංහල ආණ්ඩුකාරවරයෙකු නැවත ඉල්ලා උතුරේ ජනතාව උද්ඝෝෂණය කරන පළමු අවස්ථාව මෙය වන අතර මෙය ඓතිහාසික සිදුවීමක් ලෙස හඳුවන්වන බව පැවසීය.

උතුරේ ජනතාව අතර ඉමහත් ප‍්‍රසාදයක් දිනා සිටි ආණ්ඩුකාරවරයා වශයෙන් රෙජිනෝල්ඞ් කුරේට තිබුනේ ඉමහත් පිළිගැනිමකි. පෙරේදා(01) කිළිනොච්චි දුම්රිය ස්ථානය හා ඒ අවට රැස්ව සිටි ද්‍රවිඩ ජනතාව බැනර් හා දැන්වීම් පුවරු ප‍්‍රදර්ශනය කරමින් නැවත වතාවක් උතුරු පළාත් ආණ්ඩුකාරවර වශයෙන් රෙජිනෝල්ඞ් කුරේ මහතා පත් කරන ලෙස ඉල්ලා සිටියහ.

පසුගිය කාලයේ නොවිසඳුනු ප‍්‍රශ්න හා ගැටළු වැඩි ප‍්‍රමාණයකට නායකත්වය ලබා දෙමින් ඒවාට රාජ්‍ය මට්ටමින් නිසියාකාර විසඳුම් ලබාදුන් ද්‍රවිඩ ජනතාවගේ ගැලවුම්කාරයා ලෙස රෙජිනෝල්ඞ් කුරේ පත්ව සිටින බව ස්වේච්ඡ හෙද සෞඛ්‍ය සේවා සංවිධානයේ සභාපතිනි ඒ.සුවන්දි මහත්මිය මෙහිදී ප‍්‍රකාශ කළාය.

ස්වේච්ඡුා සෞඛ්‍ය සේවකයින් 820ක්වූ පිරිස ස්ථිර කිරීමට නිවැරදි විසඳුම් ලබාදෙමින් සිටින මේ මොහොතේ ආණ්ඩුකාරවරයා මාරු කිරීම තම සංවිධානයට බලවත් පාඩුවක් බව ඒ මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එම උද්ඝෝෂණයේදී ස්වේච්ඡුා ගුරු සංවිධානයේ කැඳවුම්කරුවන රාජගෝපාලන් මදී, කිළිනොච්චි දිසාපති වෙත පෙත්සමක් භාර දෙමින් උතුරේ ආණ්ඩුකාරවරයා නැවත වතාවක් උතුරට ලබාදෙන ලෙස ජනාධිපතිවරයාට දන්වා යවන ලෙස ඉල්ලා සිටියහ.

තම ගුරු සංවිධානයේ ස්වේච්ඡුා ගුරුවරුන් 1400ක් පමණ වූ පිරිසකට ස්ථිර පත්වීම් පියවරෙන් පියවර ලබාදීමට නායකත්වය ගත යුත්තේ උතුරේ ආණ්ඩුකාරවරයා මිස උතුරේ ද්‍රවිඩ දේශපාලඥයින් නොවන බව ඒ. කරුණාකරන් කිළිනොච්චි දිසාපතිවරයාට පෙත්සමක් භාර දෙමින් මාධ්‍යට පැවසීය.

උතුරේ ජනතාව වෙනුවෙන් සෑම බදාදා දිනකම මහජන දින පවත්වමින් උතුරේ ද්‍රවිඩ ජනතාව අතර නිතර ගැවසෙමින් ජනතා ප‍්‍රශ්න වලදී ඔවුන්ගේ දුක සැප බෙදා ගනිමින් කටයුතු කරන නායකයෙකු ලෙස රෙජිනෝල්ඞ් කුරේ නිර්භයව හැඳින්විය හැකි බව මෙම උද්ඝෝෂණයට සහභාගි වූ වැඩි දෙනෙකු පැවසූහ.

එමනිසා රෙජිනෝල්ඞ් කුරේව උතුරින් මාරුකර යැවීම උතුරේ සංහිඳියාවට බලවත් පාඩුවක් බව මෙහිදී අවසාන වශයෙන් උද්ඝෝෂණකරුවෝ පැවසූහ.

RSL

Related Posts