සමාජ ජාලා සහ වෙබ් අඩවි ඉලක්ක කර ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශ මාධ්‍ය නිදහසට තර්ජනයක්!

Spread the love

පසුගිය කාලසිමාව පුරාම රටේ සමාජ ජාලා සහ වෙබ් අඩවි ඉලක්ක කරගනිමින් ජනාධිපතිවරයා විවිධ ස්ථානවල කල ප්‍රසිද්ධ ප්‍රකාශයන් හරහා මැනවින් තහවුරු වෙමින් ඇත්තේ ආණ්ඩුවේ නොහැකියාවන් වසා ගැනිමේ අසමත් කම මාධ්‍ය මර්දනය හරහා නතරකර ගැනිමෙ අවශ්‍යතාවය බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ අදහස වන බව එම ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“රටේ මාධ්‍ය නිදහසට සaජු මෙන්ම වක්‍රව බලපෑම් එල්ල කරමින් සමාජ ජාලා සහ වෙබ් අඩවි ඉලක්ක කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දින කිහිපය තුල කල ප්‍රකාශයන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස දැඩි පිළිකුලින් යුතුව හෙළාදකිමු. පසුගිය කාලසිමාව පුරාම රටේ සමාජ ජාලා සහ වෙබ් අඩවි ඉලක්ක ජනාධිපතිවරයා විවිධ ස්ථානවල කල ප්‍රසිද්ධ ප්‍රකාශයන් හරහා මැනවින් තහවුරු වෙමින් ඇත්තේ ආණ්ඩුවේ නොහැකියාවන් වසා ගැනිමේ අසමත් කම මාධ්‍ය මර්දනය හරහා නතරකර ගැනිමෙ අවශ්‍යතාවය බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ අදහසයි.

මහනුවර ඇති වූ අවසනාවන්ත සිදුවීම පාලනය කර ගත නොහැකිව ආණ්ඩුව විසින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම ඉතා අවශ්‍ය හා කාලෝචිත ක්‍රියාමාර්ගයක් බව පෙන්වා දෙමින් ජනපතිට වන්දිභට්ටකම් කරන පිරිස ඔවුන්ගේ අසමත්කම් වසා ගැනීම සදහා රටේ ජනාධිපතිවරයා, රජයේ ඉහළ නිලධාරින් හා සාමාන්‍ය ජනයා අතර මතයක් නිර්මාණාය කළහ. එම මතය සාධාරණීකරණය කරමින් සමාජ ජාල සහ වෙබ් අඩවි තහනම් කිරිම හෝ අවහිර කිරිම සම්බන්ධයෙන් මාධ්‍ය නිදහස අගයන ගෝත්‍රික නොවන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සිය ප්‍රසංශාව ප්‍රකාශ කර තිබෙන බවට ජනාධිපතිවරයා කළ අසත්‍ය ප්‍රකාශ තවමත් මේ රටේ ජනතාවට අමතක නැත.

රටපුරා මාධ්‍ය නිදහස ලබාදුන් බවට පුරාජේරු කතා කියමින් යන ජනාධිපතිවරයාට තමන්ගේ ගතවුන වසර 3 1/2 ක කාලය තුල වෙබ් අඩවි ගණනාවක් ම ලංකාව තුළ, කිසිදු නීතියකට යටත් නොකර තමන්ගේ සහ තමන්ට වන්දිභට්ටකම් කරන්නගේ වුවමනාව මත අවහිර කර තිබිම අමතක වී තිබේ. එමෙන්ම ජනාධිපතිවරයාට අමතක වු වසර 3කට පෙර අතීතය මතක කර දිම හේතුවෙන් ටීඑන්එල් රුපාවාහිනී පොල්ගහවෙල පිහිටි කුළුන ගලවා ඉවත් කිරිම, ජාතික ආරක්ෂාවට මුවාවෙමින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව අනාවරණය කල මාධ්‍යවේදීන්ගේ ජිවිත අනතුරේ දැමිමට වැනි මාධ්‍ය නිදහසට එරෙහි ක්‍රියාවක් අමතක නම් මතක් කර ගන්නා ලෙසද අපි ජනාධිපතිවරයාට අවධාරණය කිරීමට කැමැත්තෙමු.

මහනුවර ඇති වූ සිද්ධියට අදාළ ව ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කිරීම සදහා පිඹුරුපත් සකස්කිරිම ආරම්භ කල සිරිසේන ජනාධිපතිවරයා වර්තමානයේ මාධ්‍යයට අනියමින් තර්ජනය කරමින් අනතුරු අඟවා පවසා සිටින්නේ ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනිමට අවැසි ඕනෑම අවස්ථාවක ආණ්ඩුවේ නිර්වචනය වන “ජාතිවාදී ගැටුමක්” හෝ “දුන්න නිදහස වැරදි ලෙස පාවිච්චි කරන බවට අර්ථකථන කරමින්” සමාජ ජාලා සහ වෙබ් අඩවි තහනම් කිරිමට පියවර ගැනිම නොවේද?

සමාජ ජාලා මෙන්ම අන් කවර වර්ගයක වුවද මාධ්‍යයක් හරහා ජනාධිපතිවරය පමණක් නොව රටේ සෑම පුරවැසියෙකුටම අහිතකර තත්ත්වයක් උදා වන්නේ නම් ඒ සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට ඇති අයිතියට අප කිසිදු මොහොතක අභියෝග නොකරනු ඇත.නමුත් රටේ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානීයා සමාජ මාධ්‍ය මාධ්‍යවේදීන්ට අමු තිත්ත කුණුහරුපයෙන් බැණවදිමින් තර්ජනය කරන විට ඒ සම්බන්ධයෙන් සාක්ෂි සහිතව නීතිය ඉදිරියට ගිය මාධ්‍යවේදින්ට නීතිය ඉටු නොවන තත්ත්වයක් නිර්මාණය වී තිබියදී රටේ මාධ්‍ය නිදහසක් ඇති බවට මහ උජාරුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ නිකුත් කරමින් වුවද සැබැවින්ම ගමන් කරමින් සිටින්නේ පසුගිය වනචර දශකයටම බව ඉතා පැහැදිලිවම පවසා සිටිය යුතුමය.

රටේ පාලකයන් නිසි මග නොයන්නේ නම් විවේචනය හා සත්‍ය පෙන්වා දීම හරහා ඔවුන් නිසි මගට ගෙන ඒමේ වගකීම පැවරී ඇත්තේ මාධ්‍යයට. සාධාරණ විවේචනය තුළින් මාධ්‍ය ඉටු කරන්නේ තම සමාජ වගකිම මිස පෞද්ගලික එදිරිවාදිකම් පිරිමැසීම නොවන බව ජනාධිපතිවරයා ඇතුළු රජයට පෙන්වා දෙන්නෙමු. එසේනම් ජනාධිපතිවරයා සිදු කළ යුත්තේ තමාව විවේචනය කරන මාධ්‍යයන්ගේ නිදහස උල්ලංඝනය කරන බවට වක්‍ර තර්ජනයන් සිදු කිරීම නොව වරදක් ඇති නොවන පරිදි ශක්තිමත් සaජු නායකත්වයකින් රට මෙහෙය වීමය.

එසේනම් මාධ්‍ය වෙත අත තබා නැවතත් පෙර පැවති අවනීතිය රජයන, ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලංකාවක් නිර්මාණය කරනවා ද යන්න තීරණාය කළ යුත්තේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වන අතර යහපාලනය අරුත් ගැන්වෙන සේ ඉදිරියේදි ක්‍රියා කරනු ඇතැයි හුදෙක්ම බලාපොරොත්තු වෙමු”.

RSL

Related Posts