කුප්‍රකට ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 8ක් අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස් දෙද්දී හොරෙන්ම රටෙන් පැනලා

Spread the love

ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති කුප්‍රකට නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට අද(05) උපදෙස් ලබා දී ඇත.

කෙසේ වෙතත් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළේ නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික කොමදෝර් විශ්වජිත් දියබලනගේ ඊයේ (04) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇති බවයි.

ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විසස් සමාගමේ එම්.වී. ඇවන්ට් ගාඩ් නම් නෞකාව භාවිත කරමින් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට අදාළ විමර්ශනය සම්බන්ධයෙන් ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කර ඔවුන් අත්ංඩගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත අද උපදෙස් ලබා දී ඇත.

ඒ අනූව විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, විශ්‍රාමික මේජර් ජෙනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල, විශ්‍රාමික කොමදෝර් විශ්වජිත් දියබලනගේ, ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් පී.බී. ප්‍රේමචන්ද්‍ර, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න සහ රක්නා ලංකා සභාපති වික්ටර් සමරවීර යන අයද ඒ අතර වෙයි.

කෙසේ වෙතත් නිශ්ශංක සේනාධිපති මහතා සහ තවත් සිව් දෙනෙකු විසින් තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ නිෂ්ප්‍රභ කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

අදාළ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට පෙර, ඊයේ උදෑසන 11.40ට පමණ නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික කොමදෝර් විශ්වජිත් දියබලනගේ යන අය සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවද ඇය පැවසුවාය.

කෙසේවෙතත් සැකකරුවන් 8 දෙනා නීති විරෝධී ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, අදාළ වරදවල් සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම සිදුකර ඇතැයි සාක්ෂි අධ්‍යනය කිරීමෙන් පෙනී යන බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනූව ස්වංක්‍රීය ගිනි අවි 813 ක් සහ ජීව උණ්ඩ දෙලක්ෂ නවසිය තිස් පහක් නීතිවිරෝධීව එම්.වී. ඇවන්ට්ගාඩ් නැමති නෞකාවේ රඳවා ගෙන තිබූ බවට චෝදනා එල්ල වෙයි.

එම නිසා අදාළ සැකකරුවන් 8 දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇත.