ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13කට චෝදනා 7573 ක්

Spread the love

ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව ගොනු කරනු ලබන නඩුව ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සඳහා විනිසුරුවරුන් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් මෙම ඉල්ලීම ඊයේ(21) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු කළ බව නීතිපතිවරයා ගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය සඳහන් කර සිටියේ මෙම විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව චෝදනා 7573 ක් යටතේ නඩු පැවරීමට නියමිත බවයි.

2014 වසරේ අප්‍රේල් මස 7 වනදා සහ 2015 වසරේ ඔක්තෝබර් මස 6 වන දා දක්වා කාලසීමාව තුළ හික්කඩුව ආසන්න මුහුදේ එම්.වී.ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ දෙලක්ෂ නවසිය තිස් පහක් තබාගැනීම තුළින් විත්තිකරුවන් වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කිරීමට නියමිතය.

විත්තිකරුවන් විසින් සංවිධානාත්මක ආකාරයෙන් සිදුකළ මෙම අපරාධ ක්‍රියාව දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි කැලඹීමකට තුඩු දී තිබූ හෙයින් මෙම නඩුව ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට සුදුසු බවට නීතිපතිවරයා තීන්දු කර ඇතැයි ද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරින නිෂාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් සඳහන් කළේය.

චූදිතයින් එරෙහිව ඇති චෝදනා කීපයක් පහතින් දැක්වෙයි.

  1. 2014 අප්‍රේල් මස 7 වන දින සිට 2015 ‍ඔක්තෝබර් මස 06 වන දින දක්වා කාලසීමාව තුළ කොළඹ දී, ඉන්දියන් සාගරය හීදී, රතු මුහුද සහ හික්කඩුව දී නීත්‍යානුකූළ බලපත්‍ර නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවි 816 ක් සන්තකයේ තබා ගැනීමට කුමන්ත්‍රණය කිරීම.
  2. පළමු හා දෙවන චුදිත සමාගම් වන රක්නා ලංකා සහ ඇවන්ඩ් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් යන සමාගම් ප්‍රධාන අපරාධමය වරද වන T56, 84s සහ LMG ස්වයංක්‍රීය ගිනි අවි816 ක් නීත්‍යානූකූල බපලපත්‍ර නොමැතිව සන්තකයේ තබා ගැනීම.(2 වන චෝදනාවේ සිට 7537 දක්වා )

3.තුන්වන චුදිතයා සිට 13 වන දක්වා එකිනෙකා තම තමන්ගේ තනතුරට අනුරූපව කරනු ලැබු ක්‍රියාකාරී කොටස් මත පදනම්ව, ප්‍රධාන අපරාධමය වරදවල් සිදු කල 1 හා 2 වන චුදිත සමාගම්වලට එකී වරදවල් සිදු කිරීම සඳහා ආධාර අනුබල දීම.

4.2015 සැප්තැම්බර් මස 21 වන දින සිට 2015 ඔක්තෝබර් 6 වන දා දක්වා කාල සීමාව තුළ දි කොළඹ දී, ඉන්දියන් සාගරය හිදී, රතු මුහුද සහ හික්කඩුවහි දී නිත්‍යානූකූල බලබත්‍ර නොමැතිව ජීව උණ්ඩ 202935 ක් සන්තකයේ තබා ගැනීම සඳහා කුමන්ත්‍රණය කිරීම.(7538 චෝදනාව)

5.2015 සැප්කැම්බර් මස 21 වන දින සිට 2015 ඔක්තෝබර් මස 6 වන දින දක්වා 1 වන හා 2 වන චූදිතයින් වශයෙන් සිටින සමාගම් දෙක නිත්‍යානූකූල බලපත්‍රයක් නොමැතිව ජීව උණ්ඩ 202935 ක් සන්තකයේ තබා ගැනීම.(7539 සිට 7547 දක්වා චෝදනා දක්වා)

6.2015 සැප්තැම්බර් මස 21 වන දින වන විට රක්තා ලංකා සමාගමෙන් ඉවත් වී තිබු පාලිත ප්‍රනාන්දු සහ එගොඩවෙලේ යන චුදිතයින් එම කාලය වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ රාජකාරීවලින් ඉවත්ව තිබු දමයන්කි ජයරත්නත් හැර ඉතිරි චුදිතයන් සියලු දෙනාම (08) ඉහත කී නිත්‍යානූකූල බලපත්‍රයක් නොමැතිව ජීව උණ්ඩ 202935 ක් සන්තකයේ තබා ගැනීමේ සහ ආධාර අනුබල දීම.

7.2015 සැප්තැම්බර් මස 23 වන දින සිට 2015 ඔක්තෝම්බර් මස 6 වන දින දක්වා කාලසීමාව තුළ දී කොළඹ දී, ඉන්දියන් සාගරය හිදී, රතු මුහුද සහ හික්කඩුවහි දී නිත්‍යානූකූල බලබත්‍ර නොමැතිව ජීව උණ්ඩ 200935 ක් ප්‍රවාහනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම.(7548 වන චෝදනාව)

8.2015 සැප්තැම්බර් මස 23 වන දින සිට 2015 ඔක්තෝබර් මස 6 වන දින දක්වා කාලසීමාව තුළ දී කොළඹ දී, ඉන්දියන් සාගරය හිදී, රතු මුහුද සහ හික්කඩුවහි දී නිත්‍යානූකූල බලබත්‍ර නොමැතිව 1 වන හා 2 වන චුදිත සමාගම් ජීව උණ්ඩ 2000935 ක් ප්‍රවාහනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම.(7549 වන චෝදනාව)

9.2015 සැප්තැම්බර් මස 23 වන දින සිට 2015 ඔක්තෝබර් මස 6 වන දින දක්වා ගෙනඩි ග්‍රැවිරිලෝව් නම් නෞකාවේ කපිතාන්වරයා නීත්‍යානූකූල අවසර පත්‍රයක් නොමැතිව ජිව උණ්ඩ 200935 ක් ප්‍රවාහනය කිරීම.(7550 සිට 7569 දක්වා චෝදනා)

10.පාලිත ප්‍රනාන්දු, එගොඩවෙලේ සහ දමයන්ති ජයරත්න හැර අනෙක් චුදිතයින් ගෙනඩි ග්‍රැවිරිලෝව් නම් නෞකාවේ කපිතාන්වරයා නීත්‍යානූකූල අවසර පත්‍රයක් නොමැතිව ජීව උණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ආධාර අනුබල දීම.

11.2015 සැප්කැම්බර් මස 21 වන දින සිට 2015 ඔක්තෝබර් මස 6 වන දක්වා කාලය තුළ දී නිශ්ශංක සේනාධිපති, සමන් දිසානායක හා ප්‍රේමචන්ද්‍ර යන තිදෙනා රතු මුහුදේ සිට ගාලු වරාය දක්වා ස්වයංක්‍රීය ගිනි අවි 813 ක් සහ ජීව උණ්ඩ 200935ක් ප්‍රවාහනය සඳහා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ බවත්, එය 2015 සැප්තැම්බර් මස 28 වන දින ආරක්ෂක අමාත්‍යාංශය වෙත ලැබුණු බවත් යනුවෙන් පරිවේශනයක් යම් නීති කටයුත්තක් දී එම නීති කටයුත්තේ ප්‍රතිඵලයට බලපාන ආකාරයට ඇති කර වීම සඳහා බොරු සාක්ෂි ගෙතීමට කුමන්ත්‍රණය කිරීම.‍(දණ්ඩ නීති සංග්‍රහයේ 189 සහ 190 වගන්ති) (7570 වන චෝදනාව)

12.සමන් දිසානායක ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ලේකම් වශයෙන් එසේ ඉහත කී පරිදි බොරු සාක්ෂි ගෙතීම.(7571 චෝදනාව)

13.නිශ්ශංක සේනාධිපති හා ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනා ඇවන්ට් ගාර්ඩ් හා රක්නා ලංකා සමාගම් වෙනුවෙන් එකී බොරු සාක්ෂි ගෙතීම සඳහා සමන් දිසානායක යන අයට ආධාර අනුබල දීම.(7572 හා 7573 චෝදනාව)

සැකකරුවන් විසින් ඉහත දැක්වු චෝදනා සංවිධානාත්මකව සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රශ්න ගත සිදුවීම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉතාමත් කැලඹිලි සහගත තත්ත්වයක් ඇති වු බවද නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව විමර්ශනවලින් හෙළිවු කරුණු අනුව මෙම අපරාධය ඉතා සුක්ෂවම හා ඉතා සංකීර්ණ මෙන්ම සංවිධානාත්මක ලෙස සිදු කොට ඇති බව පෙනී යනු ඇතැයි ද නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නීති කෘත්‍යයක් ජූරි සභාවක් නොමැතිව පුහුණු හා නීතිය පිළිබඳව මනා අවබෝධයක් ඇති, ඉදිරිපත් කිරීමට අපේක්ෂිත සාක්ෂිවල සංකීර්ණත්වය හා ගුණාත්මකභාවය පහුසවෙන් අවබෝධ කර ගත හැකි විශේෂ මහාධිකරණයක් මඟින් පවත්වනු ලබන නඩු විභාගයක් ලෙස පැවැත්වීම උචිත වෙයි.

RSL

Related Posts