නව ජනපති ලේකම් උදය සෙනෙවිරත්න

Spread the love

නව ජනාධිපති ලේකම්වරයා ලෙස පෙරේදා (06) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් උදය ආර්. සෙනෙවිරත්න මහතා එදින පස්වරුවේම ලේකම් ධුරයේ වැඩ භාර ගත්තේය.

උදය ආර්. සෙනෙවිරත්න මහතා මීට පෙර විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, මහාමාර්ග, පරිසර හා මහවැලි සංවර්ධන යන අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස කටයුතු කර තිබේ.

වසර 37කට අධික කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කළ සෙනෙවිරත්න මහතා පොල්ගොල්ල සමුපකාර සංවර්ධන ආයතන පිහිටුවීමෙහිලා මූලිකත්වය ගෙන දැවැන්ත ව්‍යාපෘති රැසකට නායකත්වය ලබාදී ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියකු වන ඒ මහතා එම විශ්වවිද්‍යාලයේම ජනසන්නිවේදනය පිළිබඳව විද්‍යාපති උපාධිය ලබා ඇති අතර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් සංවර්ධන සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ පළාත් පාලන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ලබා ඇත.