ආණ්ඩුව අලුත් මෙහෙයුමකට සැරසෙයි

Spread the love

විවිධ දේශපාලන කල්ලි කණ්ඩායම්වල අවශ්‍යතා මතත්, ඇතැම් වෘත්තීය සමිති සහ සිවිල් සංවිධානවලින් රජයට එරෙහිව සිදුකෙරෙන අරගලවලට මුහුණදීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යටතේ විශේෂ බලකායක් නිර්මාණය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඊයේ (25) පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ඒකමතිකව අනුමත වී තිබේ.

විවිධ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති විසින් මහජනතාවට පීඩා පමුණුවමින් සිදුකරන අත්තනෝමතික හා අන්තවාදී, කඩාකප්පල්කාරී ක්‍රියාවන් නවතා සමස්ත ජනතාවට සහන සැළසීම උදෙසා සුවිශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලට ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

මේ යටතේ අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට විශේෂ කණ්ඩායමක් සහ ඒ සඳහා අවශ්‍ය බලයත් ලබාදීමට නියමිත බවට වාර්තාවේ.

පසුගිය 24වනදා රටපුරා ඇතිවූ ඛනිජ තෙල් සේවක වැඩවර්ජනයෙන් සමස්ත ආයතිනික ව්‍යුහයම අවුල් කර දැමීමට ගත් ක්‍රියාමාර්ග ත්‍රිවිධ හමුදා මැදිහත්වීමෙන් අවම කරගත හැකි වූ බවත් මෙවැනි තත්වයක් අනාගතයේදී නැවත පැනනැගීමට හැකි හෙයින් ඒ සඳහා ගතයුතු විකල්ප ක්‍රියාමාර්ග අධ්‍යයනය කොට ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලතල විශේෂ ගැසට් පත්‍රයක් මගින් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇත.

කැබිනට් මණ්ඩලයේ මෙකී යෝජනාවට සරත් ෆොන්සේකා මහතාද සිය එකඟතාවය පළකොට තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය බලතලද ඔහු විසින් ඉල්ලා ඇත.

RSL

Related Posts