දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නඟාසිටුවීම සඳහා ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම100ක පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයට,මහබැංකුවට සහ රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් දෙයි. රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ උපදෙස් ලබා දෙනු ලැබීය.
දේශීය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් හා ව්‍යාපාරිකයින් දිරි ගන්වමින් මෙරට දේශීය කර්මාන්තයේ නව පුනර්ජීවයක් ඇති කිරීම මෙහි අරමුණයි. ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත මේ වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාවක් ඉදිරි සති දෙකක කාලය තුළ තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් දුන්නේය. රාජ්‍ය බැංකු මගින් උපයා ගන්නා ලාභ කොතෙක් දුරට මහජනතාව වෙත ගලායනවාද යන්න පිළිබඳ අවධානය යොමුවිය යුතු බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, අදාළ ප්රතිලාභ ආර්ථික ක්‍රියාදාමයන් තුළ සාමාන්‍ය ජනතාව මෙන්ම ව්‍යවසායකයින් වෙත ද ගලායමට සැලැස්වීම ඉතා වැදගත් බව පෙන්වා දුන්නේය.
එමෙන්ම මේ ණය යෝජනා ක්‍රම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පුළුල් ප්රචාරක වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පැහැදිළි කෙළේය. බොහෝ ව්‍යවසායකයින්ට මුහුණදීමට සිදුව ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ ණය ලබාගැනීමේදී පනවා ඇති කොන්දේසි සහ ඇප ලියවිලි සම්බන්ධව මතුවන ගැටලු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ණය ලබා ගැනීමේ කොන්දේසි, සුරැකුම්පත් සහ ඇප ලියවිලි අවම මට්ටමින් පවත්වා ගනිමින් අපහසුතාවයකින් තොරව ව්‍යවසායකයින්ට ණය ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකසා දීමේ වැදගත්කම ද පැහැදිළි කළේය.
විශේෂයෙන් රැකියා විරහිත උපාධිධාරින් ව්‍යවසායකයින් බවට පත්කිරීම අරමුණ කර ගනිමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. දේශපාලන බේදයකින් තොරව මෙම වැඩසටහන්වල ප්රතිලාභ සියලු ජනතාව වෙත ලබාදිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ග්‍රාම නිලධාරින්ගේ සහය ලබාගැනීමට ද උපදෙස් දෙනු ලැබීය.
රාජ්‍ය බැංකු මහජන හිතෛෂී විය යුතු අතර, ණය ලබා ගැනීමට හෝ සේවා ලබාගැනීමට පැමිණෙන පොදු ජනතාව සමග ඉතා සුහදශීලිව කටයුතු කරමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරදීම පිළිබඳ කාර්ය මණ්ඩල දැනුවත් කරන ලෙස ද ජනාධිපතිවරයා රාජ්‍ය බැංකු සභාපතිවරුන් වෙත උපදෙස් දුන්නේය. ලාංකීය රාජ්‍ය බැංකු වාණිජ්‍යකරණයට ලක්වීම හේතුවෙන් සමාජ ප්‍රශ්න හඳුනා ගැනීම හා රටේ ආර්ථික වර්ධනයට අවශ්‍ය ණය ලබාදීම ප්රශස්ත මට්ටමක නොපවතින බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කෙළේය.
ලංකා බැංකුව, මහජන බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඇතුළු මුදල් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය බැංකු මගින් දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක කරන ණයයෝජනා ක්‍රම පිළිබඳ කරුණු විමසූ ජනාධිපතිතුමා ව්‍යවසායකයින් සිදුකරන යෝජනා සැලකිල්ලට ගනිමින් එම ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.අමාත්‍යවරුන් වන මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ,මහබැංකු අධිපති ආචාර්ය
ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් සහ රාජ්‍ය බැංකු සභාපතිවරුන්, අධ්යක්ෂවරුන් ඇතුළු නිලධාරින් මීට එක්ව සිටියහ.