සංස්කෘතික ගබඩාවේ අන්තිම ඩිංග කොල්ලකෑම හෙවත් විරෝධාකල්පවලටත් කෙළවීම!

Spread the love

Thanuja ලෝක රියැලටි වැඩසටහන් සහ ලංකාවේ රියැලිටි වැඩසටහන් ගැන බොහෝ සංවාද කෙරී ඇති බැවින් ඒ ගැන විග්‍රහ කරන්නට උත්සාහ නොදැරෙන අතර ඒ ගැන එරික් ඉලයප්ආරච්චි මහතාගේ පොතක උපුටා ගැනීමක් පමණක් දක්වමු.

“සරල නිදසුනක් ගෙන හැර දක්වන්නේ නම් ජෝ අබේවික‍්‍රම හෝ ගාමිණි ෆොන්සේකා හෝ මාලනී ෆොන්සේකා හෝ මෙරට සංස්කෘතික ලේඛනාගාරය තුළ ගබඩා කර තිබෙන මුල් පිටපත් ය. එවැනි සංස්කෘතික ඔරිජිනල බිහි කරන්නට රූපවාහිනියට නොහැකි ය.”

රූපවාහිනිය නමැති මජර විනෝද කර්මාන්තය විසින් කරන්නේ ඒවා කොල්ලකෑම බව ඉතා පැහැදිලි ය. ඊට හොඳම නිදසුන නම් ‘සුපර් ස්ටාර්’ නම් වැඩසටහනයි. එමගින් පැරණි සංස්කෘතික ගබඩා සොයා පාදා කොල්ල කෑව ද කිසිදු ඊනියා සුපිරි තරුවකට සංස්කෘතික ඔරිජිනලයක් වන්නට නොහැකි වීම විමසා බලනු වටී.

රියැලිටි වසංගතය හරහා ලංකාවේ ගීත සාහිත්‍යයේ පැරණි සංස්කෘතික සිහිවටන කොල්ල කා තාවකාලිකව පොරවල් වූ මල්ලිලා බොහෝ දෙනෙක් දැන් ආගිය අතක් නැත. තමාගේ දෙයක් ගොඩ නගාගන්නට වැර දැරූ උන් අඩු තරමේ තමන් ජීවත්ව ඉන්න බව වත් දනිති.

මෑත කාලයේ ගීත සාහිත්‍යයේ සියලු ම අංශවල ගීත පාහේ රියැලිටි වසංගතය වෙනුවෙන් ගණිකා වෘත්තියේ යෙදැවුණු අතර අත නොතබා තිබුණේ විරෝධාකල්ප ගීත සාහිත්‍යයට පමණි. දැන් ඒ ගීතවලට ද කෙළවන්නට පටන්ගෙන තිබේ. මේ අඳබාලයන් නොදන්නවාට විරෝධාකල්ප ගීත සාහිත්‍යය කෘතිවලට පිටුපසින් ඒවා දරා සිටින සංස්කෘතියක්, ඉතිහාසයක් සහ සමහරවිට ඒවා දරා සිටින ක්‍රියාකාරකම් ද තිබේ. බොහෝ විට ඒවා නිර්මාණය කළවුන්ට පවා අමතකව ගොස් ඇත ද ඒවා ඉතිහාසයෙන් මකා දමන්නට නොහැක.

විකිණීම ම ය නිවන! යන සංකල්පය යටතේ සියල්ල විකුණන, ගොඩයාම පිණිස හැඩට රුවට රඟපාන විපරීතයන් විනිශ්චය කරන්නට ඉන්නේ ද එවැනි ම විපරීතයන් ය. භාෂි ද කවුදෝ කෙනෙක් පසුගිය දා ගීතවලට නැති මහප්‍රාණ යොදමින් ගැයූ (හැන්ථාන ඇඩවියේහ් මැඩුරුහ් ඛුළුණුහ් ශුඩු ශඬළු ථලාහ් පිශ මේ එණ්ණේහ් ෆ්‍රේමයේහ් ශුවඬ නොවේහ් – මුහුණු පොතේ එය දක්වා තිබුණේ එසේ ය.) ගී විනිශ්චයට හිටියේ ද එවැනි ම ගොබ්බියක් වන තනූජා නමැත්තියකි. රූපවාහිනී කැමරාවලට මුහුණ දී තමාගේ රූපය තමා ම දකිමින් ස්වරූප රාගය වඩවා ගත් මෙවැනි ගොබ්බියන්ට යුගයේ ගායිකාවක් නිර්මාණය කරන්නට අවශ්‍ය වන්නේ මයික්‍රොෆෝනයක් පමණි.

මේ රියැලටි පටන්ගනිද්දී මුලින් ම විනාශ කරන ලද්දේ, භාවිතයේ ඇති වචනවලට හිමි බරසාර බව යි. විනිශ්චයකාරයන් ලෙස පෙනී සිටි ගොබ්බයෝ ආධුනික ගායකයෙක් ගායනයක් ඉදිරිපත් කළ සැණින් “විශිෂ්ටයි, ශ්‍රේෂ්ඨයි” කියමින් මුලින් ම කෙලවූයේ ඒ වචනවලට හිමි අගයට ය.

දැන් යුගයේ ගායක, ගායිකාවන්, කලාකරුවන්, නායකයන් බිහිකිරීම හරි ලෙහෙසි ය. තුට්ටු දෙකක් දී තනුජාට කියන්න!

සඳුන් ප්‍රියංකර විතානගේ

RSL

Related Posts