ඥානසාර හිමි යළි තඟ දමයි

Spread the love

බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (19) දහවල් නාරම්මල මැදගොඩදී ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ ජ්‍යේෂ්ඨ පුවත්පත්කලාවේදී සී.ඒ.චන්ද්‍රප්‍රේම මහතාට කන පැළෙන්නට ගසන බව කියමින් තර්ජනය කර තිබේ.

ඥානසාර හිමියන් මෙම තර්ජනය කර ඇත්තේ පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේණාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ අභාවප්‍රාප්ත මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට චන්ද්‍රප්‍රේම මහතා එහි ගොස් සිටි අවස්ථාවේදීය.

“තමුසෙද චන්ද්‍රප්‍රේම කියන්නේ? මම තමුසෙගෙ කන පැළෙන්න ගහනවා..” යැයි කියමින් මැදගොඩ අවමඟුල් නිවෙස් භූමියේදී ඥානසාර හිමියන් තමන්ට තර්ජනය කළ බව විමසීමකදී චන්ද්‍රප්‍රේම මහතා ප්‍රකාශ කළේය.

“හාමුදුරුවනේ මේක මළ ගෙදරක්. ප්‍රශ්නයක් තිබෙනවා නම් මෙතනින් එළියට ගිහින් කතා කරමු” යැයි තමන් ඥානසාර හිමියන්ට කීවද උන්වහන්සේ තවදුරටත් තමන්ට තර්ජනය කළ බවද චන්ද්‍රප්‍රේම මහතා සඳහන් කළේය.

“මම තමුසෙගෙ කොළපාට සමාජය ගැනත් දන්නවා. කන පැළෙන්නට ගහනවා..” යැයි නැවතත් ඥානසාර හිමියන් තමන්ට එහිදී තර්ජනය කළ බවද චන්ද්‍රප්‍රේම මහතා තවදුරටත් පැවැසීය.

මේ අවස්ථාවේදී එතැනට රැස්වූ භික්ෂූන්වහන්සේලා හා අනෙකුත් පිරිස් ඥානසාර හිමියන්ට ‍දොස් පවරා තිබේ.

“ඔබවහන්සේගේ ඔය හැසිරීම නිසා තමයි මේ රට අද මේ තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ” යැයි කියමින් භික්ෂූන්වහන්සේ සහ ගිහියන් ඥානසාර හිමියන්ට එහිදී දෝෂාරෝපණය කර ඇත.

මේ සිද්ධිය ගැන කළ විමසීමේදී ඥානසාර හිමියන් පැවැසූයේ තමන් වහන්සේ මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ මවගේ අවමඟුල් උත්සවයට නිවෙසට වැඩම කළ අවස්ථාවෙදී මාධ්‍යවේදියකු පළකළ ලිපියක් ගැන සාකච්ඡා කර කරුණු පැහැදිලි කිරීමක් පමණක් සිදු කළ බවත්, එහිදී කිසිදු ආකාරයකින් උණුසුම් වචන හුවමාරුවක් සිදු නොවූ බවත්ය.

-මව්බිම-

RSL

Related Posts